April 28, 2024

මීලග ජනාධිපතිවරණයට තරග කිරීමට මෛත‍්‍රී ප‍්‍රතිපත්තිමය තීරණයක් ගනී! මෛත්‍රී පරදින බවට සුසිල් - ශිරාල් ඉඟිකරයි

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත්වීම සඳහා ප්‍රතිපත්තිමය තීරණයක් ගෙන ඇතැයි දකුණු පළාත් මහ ඇමති ෂාන් විජයලාල් ද සිල්වා මහතා අනාවරණය කරයි.

ඒ මහතා මේ බව අනාවරණය කළේ “මව්බිම“ පුවත්පත සමග පැවති සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමිනි.

මෛත්‍රීපාල සිරිසේන මහතා පැවති ජනාධිපතිවරණයේදී විධායක ජනාධිපති ධුරය අහෝසි කරන බවට පැවසූවේ ඔහු එවකට නිර්පාක්ෂිකව සිටි නිසා බවත් මේ වනවිට මෛත්‍රීපාල සිරිසේන මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ලෙස ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත්වන බවට ප්‍රතිපත්තිමය තීරණයක් ගෙන ඇති බවත් ෂාන් විජයලාල් ද සිල්වා මහතා සඳහන් කරයි.

එම සම්මුඛ සාකච්ඡාවේදී ඉදිරි ජනාධිපතිවරණය සම්බන්ධයෙන් ඇති වූ සංවාදය පහතින් පල වේ,

“විධායක බලතල සහිත ජනාධිපති ධුරය අහෝසි කරන බව කියමිනුයි මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා පොදු අපේක්ෂකයා බවට පත් වුණේ. ඒත් දැන් 2020 ශ්‍රී ලනිපයේ ජනාධිපති අපේක්ෂකයා ඔහු බව කියනවා. එතකොට මේ කියන පොරොන්දුව ඉෂ්ට කරලා නෑනේ?
2015 ජනවාරි 08 වැනිදා තිබුණු මැතිවරණයට මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා තරග කළේ. නිර්පාක්ෂික අපේක්ෂකයෙක් හැටියට. එදා එතුමා ඒ දේ ප්‍රකාශ කළා. ඒක ඇත්ත. හැබැයි මැතිවරණයෙන් පස්සේ එතුමා හැමදාම ආදරය කරපු, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට සම්බන්ධ වුණා. පාක්ෂිකයන් එතුමාගෙන් ඉල්ලා සිටියා පක්ෂ නායකත්වය ගන්න කියලා. අද එතුමා ශ්‍රී ලනිපයේ නායකයා. ඒ නිසා අද පක්ෂය විධියට එතුමාට අපි යෝජනා කළා ඔබ එදා නිර්පාක්ෂිකයකු හැටියට තීන්දුවක හිටියත්, අද ශ්‍රී ලනිපයේ සභාපතිවරයා නිසා පක්ෂයේ අපේ මතය නම් ඉදිරි මැතිවරණයට ඔබතුමා ජනාධිපති අපේක්ෂකයා ලෙස තරග කළ යුතුයි කියන එක.

ජනවාරි 08 වැනිදා දරන මතය එතුමාට දරාගෙන ඉන්න පුළුවන්කමක් නෑ. අද ප්‍රධාන දේශපාලන පක්ෂයක එතුමා සභාපතිවරයා නිසා. එතුමා ඒ ප්‍රතිපත්තිමය තීන්දුවට ඇවිත් තියෙන්නේ.”

පොදු අපේක්‍ෂකයන් ගැන විශ්වාසයක් නෑ

කෙසේ වෙතත් හිටපු අමාත්‍ය ශ්‍රීලනිප පාර්ලිමේන්තු මන්ත‍්‍රී සුසිල් පේ‍්‍රම්ජයන්ත්ත මහතා කියා සිටියේ මීලගට පැවැත්වෙන මැතිවරණයකදී විපක්‍ෂ සියළු බලවේග සමග එක්ව වත්මන් ආණ්ඩුව පෙරලා දමන බවයි.

වත්මන් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා පොදු අපේක්‍ෂකයෙකු ලෙස මීලග ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බවක් මෙතෙක් කියා නැතැයිද මෙරට ජනතාව නැවත වතාවක් පොදු අපේක්‍ෂකයන් ගැන විශ්වාසයක් නොතබනු ඇතැයිද ඔහු අවධාරණය කළේය.

මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා පොදු අපේක්ෂකයා ලෙස නැවත වරක් ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බවට අපේ ලේකම්වරු ලාබාල ප්‍රකාශ සිදු කරන බවත් එම ප්‍රකාශ සිදු කිරීමට ප්‍රථම පසුගිය මැතිවරණයේ ප්‍රතිපල විග්‍රහ කර බැලිය යුතු බවත් පෙන්වා දුන් සුසිල් පේ‍්‍රම්ජයන්ත්ත මහතා නැවත වතාවක් පොදු අපේක්ෂකයින් පිළිබඳ ජනතාව විශ්වාසයක් නොතබන බවත් කියා සිටියේය.

මෛත්‍රී 2020දී විශ්‍රාම යන්නේ නෑ

2020 වර්ෂයේදී තමන් විශ්‍රාම නොයන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පසුගිය 07 වනදා ශ්‍රීලනිප මැයි දින රැළියට එක්වෙමින් පැවසී ය.

තමන්ට රට වෙනුවෙන් සිදු කිරීමට තවත් බොහෝ දෑ ඇති බැවින් 2020 දී තමන් විශ්‍රාම නොයන බව ඒ මහතා කියා සිටියේය.

නව වැඩපිළිවෙළක් ඔස්සේ රට වෙනුවෙන් ඉටුකළයුතු වැඩකොටස අඛණ්ඩවම ඉදිරියට ක්‍රියාත්මක කරන බවත් පසුගිය වසර තුනක මහඟු අත්දැකීම් සමුදාය ඒ සඳහා ආශිර්වාදයක් කර ගන්නා බවත් සඳහන් කළ ජනාධිපතිවරයා රටට සහ ජනතාවට ආදරය කරන අවංක දේශපාලනඥයන් පිරිසක් එම වැඩපිළිවෙළ වටා ඒකරාශී කරගන්නා බව ද සඳහන් කළේය.

ගෝඨා ආවොත් සජිත් - චම්පික

කෙසේ වෙතත් පසුගිය මැයි 17 වනදා සිය ෆේස්බුක් ගිණුමට සටහනක් තබමින් වත්මන් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ සම්බන්ධීකරණ ලේකම්වරයාද වන ශිරාල් ලක්තිලක මහතා සඳහන් කළේ මීලගට පැවැත්වෙන ජනාධිපතිවරණයට ඒකාබද්ද විපක්‍ෂයෙන් ඉදිරිපත් වන්නේ ගෝටාභය රාජපක්‍ෂ මහතා නම් ඔහු සමග තරගයට දැමිය හැකි හොදම අපේක්‍ෂකයන් වන්නේ සජිත් පේ‍්‍රමදාස, චම්පික රණවක බවයි.

“2020 ජනාධිපතිවරණයට ගෝඨාභය එනවනම් UNPය විසින් තරඟයට දාන්න ඉන්න හොඳම අශ්වයෝ දෙන්නා තමයි සජිත් - චම්පික හෝ චම්පික - සජිත් යුගලය.“ යනුවෙන් ශිරාල් ලක්තිලක මහතා සිය මතය මෙසේ ඉදිරිපත් කිරීම විශේෂත්වයකි.

මේ අතර “ඒෂියන් මිරර්“ සමග කළ පසුගිය මාර්තු මාසයේදී පැවැති සම්මුඛ සාකච්ඡාවකදී ශිරාල් ලක්තිලක මහතා පෙන්වා දුන්නේ ජනාධිපතිවරයා මෙවර වැඩ කළ යුත්තේ සියයට 25දක්වා තමන්ගේ ඡන්ද පදනම වැඩි කර ගැනීමට බවයි.

පසුගිය පළාත් පාලන මැතිවරණයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රමුඛ ශ්‍රීලනිපයට ලැබුණු ලක්ෂ 15ක් වූ ඡන්ද රට ගැන සිතන රට ගැන විශ්වාසයක් තිබෙන ඡන්ද බවත් සඳහන් කළේය.

2020 ජනාධිපතිවරණයට ශ්‍රීලනිපයෙන් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා ඉදිරිපත් වන්නේද යන්න ඇසූ ප්‍රශ්නයට පිළිතුරු දෙමින් ශිරාල් ලක්තිලක මහතා පැවසූවේ තමාගේ මතය නම් ඊලඟ 2020 ජනාධිපතිවරණයට මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරිපත් විය යුතු බවයි.

එම වීඩියෝව පහතින් නරඹන්න

Last modified on Tuesday, 22 May 2018 13:12