March 29, 2024

මහින්ද බෙදාගන්න පිල් දෙකක කඹඇදිල්ලක්! සන්ධාන මන්ත්‍රීවරු පොහොට්ටුවෙන් තරග බිමට

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා නායකත්වය ලබාදිය යුත්තේ පොදුජන පෙරමුණට ද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ද යන්න පිළිබඳවද යන්න මේවන විට දැඩි කතාබහක් ඇතිවී තිබේ.

පසුගියදා හිටපු ජනාධිපතිවරයා හමුවූ ශ්‍රීලනිපයේ 16 කණ්ඩායමේ මතය වී ඇත්තේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකත්වය මහින්ද රාජපක්ෂ මහතා භාරගත යුතු බවයි.

එහෙත් ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් බහුතරයකගේ අදහසවී ඇත්තේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ජනතා අප්‍රසාදයට පත්වී තිබෙන නිසාත් පක්ෂයක් ලෙසට පොදුජන පෙරමුණ පිළිබඳව ජනතා ප්‍රසාදයක් පවතින බව ඔප්පුවී තිබෙන නිසාත් මහින්ද රාජපක්ෂ මහතා පොදුජන පෙරමුණේ නායකත්වය දැරිය යුතු බවත්ය.

කෙසේ වෙතත් වර්තමාන වාතාවරණය යටතේ මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා පොදුජන පෙරමුණට නායකත්වය ලබාදිය යුතු බව බහුතරයකගේ අදහස බව ඒකාබද්ධයේ මන්ත්‍රීවරුන්ගේ මතය වී තිබේ.

ඒකාබද්ධ විපක්ෂයේ තවත් පිරිසකගේ මතය වී ඇත්තේ පොදුජන පෙරමුණ වශයෙන් නොව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ​යේ නායකත්වය මහින්ද රාජපක්ෂ මහතාට හිමිවිය යුතු බව යැයි දැන ගන්නට ඇත.

මෙතෙක් මහින්ද රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සාමාජිකත්වයෙන් ඉවත්වී නැති අතර මේ වන විට ශ්‍රීලනිපයේ අනුශාසක ධූරයද හොබවනු ලබයි.

එජනිස මන්ත්‍රිවරු පොහොට්ටුවෙන් තරග බිමට

මේ අතර එළැඹෙන පළාත් සභා මැතිවරණයේදී පොහොට්ටුව ලකුණ යටතේ තරග කිරීමට හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාට සහාය පළ කරන එක්සත් ජනතා නිදහස් සන්ධාන පළාත් සභා මන්ත්‍රි කණ්ඩායම තීරණය කර ඇත.

ඊයේ (28) බත්තරමුල්ලේ, නෙලුම් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්‍ෂ කාර්යාලයේදී බැසිල් රාජපක්‍ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පළාත් සභා මන්ත්‍රි සංසදය රැස් වූ අවස්ථාවේදී මෙම තීරණය ගෙන තිබේ.

බස්නාහිර පළාත් සභා මන්ත්‍රි සහන් ප්‍රදීප් මහතා විසින් එළැඹෙන පළාත් සභා මැතිවරණයට පළාත් සභා සංසදයේ මන්ත්‍රිවරුන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පොහොට්ටුව ලකුණ යටතේ තරග කළ යුතු බවට යෝජනා කර ඇති අතර රැස්වීම සඳහා සහභාගි වූ සියලු මන්ත්‍රිවරුන් අත් ඔසවා ඊට කැමැත්ත පළ කිරීමත් සමඟ එම යෝජනාව ඒකමතිකව සම්මත වී ඇත.

උතුරුමැද හිටපු ප්‍රධාන අමාත්‍ය එස්.එම්. රංජිත්, සබරගමු පළාත් සභාවේ හිටපු ප්‍රධාන අමාත්‍ය මහීපාල හේරත් සහ ඩී.බී. හේරත්, සන්ධ්‍යා රාජපක්‍ෂ ඇතුළු හිටපු පළාත් පාලන අමාත්‍යවරුන්, පළාත් සභා මන්ත්‍රි සංසදයේ සභාපති කංචන ජයරත්න මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වී තිබේ.