April 19, 2024

සන්ධානයේ මහ ලේකම් පුටුවට SBගෙන් ලොකු සටනක්! ශ්‍රීලනිප 16 දෙනා මහින්ද හමුවීම අනිද්දාට කල්යයි

ආණ්‌ඩුවෙන් ඉවත්වූ ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂ මන්ත්‍රීවරුන් 16 දෙනා සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා අතර ඊයේ (20) සිදුකිරීමට නියමිතව තිබූ සාකච්ඡාව අනිද්දා (23) තෙක්‌ කල්දමා ඇත.

ඒ අනුව ලබන 23 වනදා පස්වරු 5.00ට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හමුවීමට නියමිතය.

ආණ්‌ඩුවෙන් ඉවත්වූ 16 දෙනා අතරින් ඇතැමකු විදෙස්‌ ගතවීම සහ හිටපු ජනාධිපතිවරයා කලින් යොදාගත් වැඩකටයුතු කිහිපයක්‌ නිසා ඊයේ එම හමුව පැවැත්වීමට නොහැකිවී ඇතැයි වාර්තා වේ.

අනිද්දා වනවිට 16 දෙනාගේ කණ්‌ඩායමේ සියලු මන්ත්‍රීවරුන් මෙරට රැඳී සිටින බවත් නෙළුම් මාවතේ පිහිටි හිටපු ජනාධිපතිවරයාගේ කාර්යාලයේදී සාකච්ඡාව පැවැත්වීමටත් තීරණය කර තිබේ.

ආණ්ඩුව නියෝජනය කරන්නේ ශ්‍රීලනිපයේ 96දෙනාගෙන් 23 දෙනෙකු බවත් ඔවුන් ආණ්ඩුවෙන් ඉවත්වීමට තීන්දුවක් ගත යුතු බවත් එජාපයේ න්‍යාය පත්‍රයට කටයුතු කරන ශ්‍රීලනිපයේ පුද්ගලයින් සිටිනවානම් ඔවුන්ට එජාපයට එකතු වීමට හැකියාවක් ඇති බවත් ඊට ශ්‍රීලනිපයේ විරුද්ධත්වයක් නොමැති බවත් හිටපු අමාත්‍ය, පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම වීරක්කොඩි මහතා පැවසී ය.

ශ්‍රීලනිපයේ තනතුරුවල කටයුතු කරමින් එජාපයේ න්‍යාය පත්‍ර ක්‍රියාත්මක කරන කණ්ඩායමක් සිටින බවද හෙතෙම අවධාරණය කළේය.

මේ අතර එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් ධුරය ලබා ගැනීමට පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී. දිසානායක මහතා උත්සාහයක නිරත වි සිටින බව දේශපාලන ආරංචි මාර්ග පවසයි.

කලක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් ධුරය හෙබවූ එස්.බී. දිසානායක මහතා පසුව එක්ත් ජාතික පක්ෂයට එක්වී ජාතික සංවිධායක වශයෙන්ද කටයුතු කළේය.

පසුව නිදහස් පක්ෂයට එක්වූ එස්.බී. දිසානායක මහතා මේ වන විට එහි භාණ්ඩාගාරික වශයෙන් කටයුතු කරයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිලධාරී මණ්ඩලය වෙනස් කළ යුතු බවට ආණ්ඩුවෙන් ඉවත්වූ නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් 16 දෙනා දිගින් දිගටම ප්‍රකාශ කරමින් සිටින අතර ඒ සමගම සන්ධානයේ මහ ලේකම් ධුරයට පත්වීමටද එස්.බී. දිසානායක මහතා දැඩි උත්සාහයක නිතර වී සිටින බව එම ආරංචි මාර්ග සඳහන් කළේය.

මහින්ද සන්ධාන ලේකම් ධුරය අතහරී?

කෙසේ වෙතත් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම්, කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා සන්ධානයේ මහ ලේකම් ධුරයෙන් ඉවත්වීමට සූදානම් බවටද ආරංචි මාර්ග පැවසී ය.

තමා ඕනෑ වේලාවක සන්ධානයේ මහ ලේකම් ධුරයෙන් ඉවත්වීමට සූදානම් බවට මහින්ද අමරවීර මහතා අවස්ථා කිහිපයකදීම පක්ෂ නායක, ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා දැනුවත් කර තිබේ.

කෙසේ වෙතත් එම අවස්ථාවන්හිදී ජනාධිපතිවරයා සන්ධාන මහ ලේකම් අමාත්‍ය මහින්ද අමරවීර මහතා හමුවේ ප්‍රකාශ කර ඇත්තේ "සන්ධාන මහ ලේකම් ධුරය පිළිබඳව ඔබතුමාට කිසිවකුගෙන් චෝදනාවක් නැඟී නැහැ. එම නිසා මෙවැනි තීරණයක් ගැනීමෙන් වැළැකී සිටින්නැයි" යනුවෙනි.

සන්ධාන මහ ලේකම් මහින්ද අමරවීර මහතා සඳහන් කරන්නේ සන්ධානයේ මහ ලේකම් ධුරයට පත්කළ යුතු වන්නේ ශ්‍රීලනිපයට ආදරය කරන පක්ෂය හැර නොයන, එ.ජා.පක්ෂයේ හෝ පොහොට්ටුවේ සාමාජිකයකු නොවන අයකු බවත්ය.

කෙසේ නමුත් පක්ෂයේ නායකයා ගනු ලබන ඕනෑම තීරණයකට තමාගේ සහාය ලබාදෙන බවත් කිසිදු විටෙක ශ්‍රීලනිපය හැර නොයන බවත් මහින්ද අමරවීර මහතා වැඩිදුරටත් සඳහන් කළේය.