April 26, 2024

ශ්‍රීලනිපය - ඒකාබද්ධය එක්වීමේ අවසන් තීන්දුව ලඟදීම: මූලික කරුණුවලට කැමැත්ත දෙයි

November 27, 2017

ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂය සහ ඒකාබද්ධ විපක්‍ෂය අතර එකඟතාවක්‌ ඇතිකර ගැනීම සඳහා දෙපාර්ශ්වයම විසින් පත්කළ කමිටු දෙකේ සාකච්ඡා ඉදිරි දිනකදී තවදුරටත් පැවැත්වීමට එම කමිටු දෙකේ සාමාජිකයන් එකඟ වී ඇතැයි වාර්තා වේ.

මෙහි පළමු සාකච්ඡාව පෙරේදා (25) පවත්වා ඇති අතර එහිදී ඒකාබද්ධ විපක්‍ෂය ඉදිරිපත් කරන ලද ප්‍රධාන යෝජනා දෙක ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂය විසින් පත්කළ කමිටුවට ලබාදී තිබේ.

ඒ අනුව මූලික කාරණා කිහිපයක් පිලිබඳ දෙපාර්ශවයම එකඟතාවයකට පැමිණ ඇති අතර ඉතා සුහදශීලීව එම සාකච්ඡා පැවැති බවත් නමුත් ප්‍රතිපත්තිමය කාරණා කිහිපයක් පිළිබඳ එකඟතාවයකට පැමිණීමට පක්ෂයට දන්වා නැවත වරක් සාකච්ඡා කර තීරණයක් ගැනීමට පෙරේදා පැවැති සාකච්ඡාවේදී තීරණය කර ඇති බවත් වාර්තා වේ.

ඒ සම්බන්ධයෙන් පක්‍ෂය සමග සාකච්ඡා කර නැවත හෙට(28) දිනයේදී හමුවීමට තීරණය කර ඇති අතර මෙහිදී ඒකාබද්ධ විපක්‍ෂය විසින් ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂය ආණ්‌ඩුවෙන් ඉවත්වීම, ශ්‍රීලනිපයේ සභාපතිධුරය ඒකාබද්ධ විපක්‍ෂයේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාට ලබාදීම යන කොන්දේසි දෙක ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයට ඉදිරිපත් කර ඇතැයි වාර්තා වේ.

මෙම යෝජනා දෙකට සාධාරණ පිළිතුරක්‌ ලැබුනොත් ඉදිරි පළාත් පාලන මැතිවරණයට එකතු වීම කෙරෙහි සලකා බැලිය හැකි බවද ඒකාබද්ධ විපක්ෂයේ ආරංචි මාර්ග පවසයි.

ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂය වෙනුවෙන් නිමල් සිරිපාල ද සිල්වා, අනුර ප්‍රියදර්ශන යාපා යන අමාත්‍යවරුන් සහ නියෝජ්‍ය ඇමැති ලසන්ත අලගියවන්න මහතා කමිටුව නියෝජනය කරන අතර ඒකාබද්ධ විපක්‍ෂය නියෝජනය කරමින් පවිත්‍රා වන්නිආරච්චි, මහින්ද යාපා අබේවර්ධන, සී. බී. රත්නායක යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරු කමිටුවට පත්කර සිටිති.

ශ්‍රීලනිපයේ සියලු දෙනා ඒකාබද්ධය සමග

මේ අතර හිටපු නියෝජ්‍ය ඇමැති, පුත්තලම් දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී අරුන්දික ප‍්‍රනාන්දු මහතා සඳහන් කළේ පළාත් පාලන මැතිවරණය කල්යාමට බලපා ඇත්තේ විෂයභාර ඇමතිවරයාගේ අඩුපාඩු බවයි.

මෙම ක්‍රියාවෙන් පක්ෂය කැඩීමක් සිදු නොවන බවත් පක්ෂය කැඩී යන්නේ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයට කොටසක් කැඩී ගියහොත් පමණක් බවත් මේ වනවිට ශ‍්‍රි ලංකා නිදහස් පක්ෂයේ සීයයට සීයක්ම තමන් සමඟ එකතු වි සිටින බවත් මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේය.