April 25, 2024

"කොළේ ඉරාගෙන ඇඟේ හලාගන්න එපා" - චෝදනා, විවේචන එල්ල කළ අයට ජනපතිගෙන් සැර කතාවක්

November 24, 2017

දූෂණයට, වංචාවට එරෙහිව තීන්දු තීරණ ගන්නාවිට එයට විරුද්ධව තමාට චෝදනා එල්ල කරන්නේනම් තමන් සියලු තනතුරු අතහැර ජනතාව සමග එක්ව එම සටන ඉදිරියටම ගෙන යාමට සූදානම් බව ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා අවධාරණය කරයි.

ජනාධිපතිවරයා මේ බව අවධාරණය කළේ අද (24) පෙරවරුවේ නිකවැරටිය ප‍්‍රදේශයේ පැවති ජන හමුවක් අමතමිනි.

"කොළේ ඉරාගෙන ඇඟේ හලා ගෙන ලොන්ඩරි හතක දැම්මත් සුද්ද කරගන්න වෙන්නේ නෑ" යැයි තමාට නොයෙකුත් චෝදනා, විවේචන එල්ල කරන සියලු දෙනාට කියන බව ද ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය.

ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂ ආණ්ඩුව වැරදි කළ නිසා ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂ අපේක්ෂකයා 2015 වසරේදී පරාජයට පත්වූ අතර, එක්සත් ජාතික පක්ෂයේ පිරිස් ද ආණ්ඩුව තුළ සිටිමින් එම වැරදි සහ අඩු පාඩු එලෙසම සිදු කරන්නේනම් ජනතාව එය අනුමත නොකරන බව ජනාධිපතිවරයා මෙහිදී කියා සිටියේය.

පැවති දූෂිත පාලනය වෙනස්කර ජනතාව අලුත් ආණ්ඩුවක් බලයට පත්කර ගත්තේ නිවැරදි වැඩපිළිවෙළක් සඳහා බව අවධාරණය කළ ජනාධිපතිවරයා එම ජනතා අපේක්ෂාව ඉටුකිරීම වෙනුවෙන් නිවැරදි ගමනක් යාමට සියලුදෙනා සූදානම් විය යුතු බව ද අවධාරණ කළේය.

වෙන්වීම පහසුවන අතර, එක්වීම අපහසු බව සඳහන් කළ ජනාධිපතිවරයා දේශපාලන ළදරුවන් නොවී පරිණත සහ බුද්ධිමත් දේශපාලනඥයින් ලෙස බෙදීම්වලින් තොරව රට වෙනුවෙන් ඉදිරියට යාම සියලුදෙනාගේ වගකීම බවත්, දේශපාලන බලය හා පුද්ගලික න්‍යාය පත‍්‍රවලට අනුව කටයුතු නොකර රටට හා ජනතාවට ආදරය කරන දේශපාලනඥයින් බවට සියලුදෙනා පත්විය යුතු බවත් කියා සිටියේය.

කවුරුන් කෙසේ කීවද තම වසර 50 ක දේශපාලන ජීවිතය තුළ සැමදා කැපවූයේ පිරිසිදු සහ යහපත් දේශපාලන සංස්කෘතියක් සඳහා බව පැවසූ ජනාධිපතිවරයා එම දිගුකාලීන දේශපාලන ගමනක මහඟු අත්දැකීම් සම්භාරය තුළ තමන් සෑම අවස්ථාවකම ඉතා ඉවසීමෙන් සහ උපේක්ෂා සහගතව කටයුතු කරන බවත්, තමන් පුරුදුවීමට දේශපාලනයට පැමිණි අයෙකු නොවන බවත් සඳහන් කළේය.

පළාත් පාලන මැතිවරණය කල් දැමීම පිළිබඳ චෝදනා එල්ල කළ ද ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයට ද අවශ්‍යව ඇත්තේ ඉතා ඉක්මණින් මැතිවරණයකට යාමට බව පැවසූ ජනාධිපතිවරයා ඒ සඳහා අවශ්‍ය සියලු කැපවීම් මේවන විට සිදුකර තිබෙන බව කියා සිටියේය.

19 වන ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවේ සම්මතකර ගනු ලැබුවේ එක්සත් ජාතික පක්ෂයට පාර්ලිමේන්තුවේ ආසන 47ක් පමණක් පවතින අවස්ථාවේදී වන අතර, ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය ප‍්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ 142 ක් ඒ සඳහා ඡන්දය ලබාදුන් බව ද මෙහිදී සිහිපත් කළ ජනාධිපතිවරයා ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය ශක්තිමත් කළ යුත්තේ මැතිවරණ ජයග‍්‍රහණ සඳහා පමණක් නොව යහපත් දේශපාලන සංස්කෘතියක් වෙනුවෙන් බවද පැවසීය.

රටේ වත්මන් සංවර්ධන වැඩපිළිවෙළ සහ ජනතාවගේ ආර්ථිකය ගොඩනැගීමට ගෙන යන වැඩපිළිවෙළ පිළිබඳව ද අදහස් දැක්වූ ජනාධිපතිවරයා ප‍්‍රකාශ කළේ තමාගේ උපදෙස් පරිදි මසකට රුපියල් බිලියන 06 කට වැඩි මුදලක් මේ වන විට නියඟයෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීම සඳහා රජය වැය කරන බවයි.

Last modified on Friday, 24 November 2017 17:36