April 19, 2024

අවංකභාවයේ කොන්දේසිය නිසා ඒකාබද්ධ - ශ්‍රීලනිප එක්නොවන ලකුණු

November 29, 2017

ඉදිරි පළාත් පාලන මැතිවරණයට තරඟ කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ඒකාබද්ධ විපක්ෂය අතර ඊයේ (28) පැවති සාකච්ඡාවද විසඳුමකින් තොරව අවසන් වී තිබේ.

පාර්ලිමේන්තු සංකීර්ණයේ පැවැති මෙම සාකච්ඡාවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් අමාත්‍යවරුන් වන නිමල් සිරිපාල ද සිල්වා, අනුර ප්‍රියදර්ශන යාපා සහ නියෝජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න යන මහත්වරුන්ද සහභාගී වී තිබේ.

ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සී.බී. රත්නායක, මහින්ද යාපා අබේවර්ධන සහ පවිත්‍රා වන්නිආරච්චි මෙම සාකච්ඡාවට සහභාගි වූ අතර, ඔවුන් යෝජනා කිහිපයක්ද ඉදිරිපත් කර ඇත.

ඒකාබද්ධයෙන් තවත් කොන්දේසියක්

පළාත් පාලන ඡන්දයට එක්‌ව තරග කිරීමට නම් ආණ්‌ඩුවේ සිටින ශ්‍රීලනිප කණ්‌ඩායම දෙසැම්බර් 09 දා අයවැයට එරෙහිව ඡන්දය පාවිච්චි කර සිය අවංකභාවය පෙන්විය යුතු බව ඒකාබද්ධ විපක්‍ෂයේ මන්ත්‍රීවරුන් ඊයේ (28) තීරණය කර ඇත.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ ඒකාබද්ධ විපක්‍ෂයේ පාර්ලිමේන්තු කණ්‌ඩායම පාර්ලිමේන්තුවේ කමිටු ශාලාවක පැවැති රැස්‌වීමේදී මෙම තීන්දුව ගෙන තිබේ.

“ශ්‍රීලනිප කණ්‌ඩායම ආණ්‌ඩුවෙන් ඉවත් වෙන්න ඕනේ. ඒ සඳහා ඔවුන් කළ යුත්තේ අයවැය පරාජය කිරීමට කටයුතු කිරීමයි. මේ 09 වැනිදා අයවැය අවසන් වර ඡන්ද විමසීමේදී ඊට විරුද්ධව ඡන්දය පාවිච්චි කරලා ශ්‍රීලනිප මන්ත්‍රීවරු තමන්ගේ අංකභාවය පෙන්විය යුතුයි. ඉන් පස්‌සේ පළාත් පාලන මැතිවරණයට අපිට එකට එකතුවෙලා තරග කරන්න පුළුවන්“ යෑයි ගාමිණී ලොකුගේ මන්ත්‍රීවරයා පැවසී ය.

“ඒගොල්ලන් ආණ්‌ඩුවෙන් ඉවත් වෙන්නේ නැත්නම් අපි පොහොට්‌ටුවෙන් තරග කරනවා. දැනටමත් අපි අපේක්‍ෂකයන් තෝරාගෙන ඉවරයි. ආණ්‌ඩුවේ ඉන්න කල් අපි එයාලා එක්‌ක එකතු වෙන්නේ නෑ“ කළුතර දිස්‌ත්‍රික්‌ මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා ද එම සාකච්ඡාව අවසන්වීමෙන් අනතුරුව සදහන් කළේය. 

ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරමින් සාකච්ඡාවට එක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද යාපා අබේවර්ධන සඳහන් කළේ තවත් සාකච්ඡාවක් ඉදිරි දිනයකදී පැවැත්වෙන බවයි.

කෙසේ වෙතත් හිටපු ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ඊයේ රැස්වූ පාර්ලිමේන්තු කණ්ඩායමේ අවසන් තීරණයකට අනුව එක්සත් ජාතික පක්ෂය සමඟ කටයුතු නොකර හවුල් ආණ්ඩුවෙන් ඉවත්ව සාකච්ඡාවලට පැමිණෙන ලෙසට ඔවුන් නිදහස් පක්ෂයට දැනුම් දී ඇත.

Last modified on Wednesday, 29 November 2017 09:58