April 26, 2024

(Update-04) “වැරදි වන්න පුළුවන් අඩුපාඩු වෙන්න පුළුවන්“- සාක්ෂි ලබා දුන් අගමැති කියයි

November 20, 2017

බැඳුම්කර කොමිසම හමුවේ සාක්ෂි ලබාදීමෙන් අනතුරුව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මීට සුළු මොහොතකට පෙර එම කොමිසමෙන් පිටව ගියේ ය.

බැඳුම්කර ගනුදෙනු සම්බන්ධයෙන් විමර්ශනය කරන ජනපති කොමිසමේ වැඩ කටයුතු අද(20) පෙරවරු 10.00ට ආරම්භ විය.

එම කොමිසම හමුවේ ප්‍රකාශයක් ලබාදීමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද පෙරවරුවේ පැමිණි අතර පසුව පැයකට අධික කාලයක් ප්‍රශ්න කිරීම් සිදු කිරීමෙන් අනතුරුව පෙරවරු 11.15ට පමණ අගමැතිවරයාගෙන් සාක්ෂි විමසීම අවසන් කර තිබිණි.

එම කොමිසමෙන් පිටතට පැමිණි අගමැතිවරයා මාධ්‍ය හමුවේ ඉතා කෙටි ප්‍රකාශයක් සිදු කළේය. එහිදී අගමැතිවරයා සඳහන් කළේ කොමිසම හමුවේ සියල්ල පැහැදිලි කළ බවත් මෙරට පළමු වරට අගමැතිවරයෙකු ජනපති කොමිසමක් හමුවේ සාක්ෂි ලබා දීමට පැමිණි බවයි.

“හානිය ඒ සියල්ලම මට මෙතනදි පැහැදිලි කරන්න අවස්ථාව ලැබුණා. මම විශේෂයෙන්ම කියන්න කැමතියි පක්ෂයේ සභාපතිතුමත්, ලේකම්තුමත් ඇමැතිවරු කිසිම බයක් නැතිව ඉදිරිපත් වුණා. අපි යහපාලනය ඉදිරියට ගෙන යනවා. මෙතන හංගගන්න දෙයක් නෑ. වැරදි වන්න පුළුවන් අඩුපාඩු වෙන්න පුළුවන්. අපි යහපාලන රජය ඉදිරියට ගෙන යනවා“ යැයිද අගමැතිවරයා ප්‍රකාශ කළේය.

අගමැතිගේ සහයට එජාප මැති ඇමැතිවරු

මේ අතර අගමැතිවරයාගේ පැමිණීමත් සමග එජාප පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 32ක් ඇතුලු තවත් මන්ත්‍රීවරුන් පිරිසක් එම කොමිසමට පැමිණි බව වාර්තා වේ.

එම කොමිෂන් සභා පරිශ්‍රයට දැඩි ආරක්ෂාවක් යොදවා ඇති අතර ඒ සඳහා පොලීසියට අමතරය පොලිස් විශේෂ කාර්ය බලකායද කැඳවා තිබිණි.

එම කොමිසමේ කටයුතු ආරම්භ කිරීමෙන් අනතුරුවද රිෂාඩ් බදියුදීන්, හරීන් ප්‍රනාන්දු ඇමැතිවරුන්ද ආංශු මාරසිංහ සහ හෙක්ටර් අප්පුහාමි යන එජාප මන්ත්‍රීවරුන්ද පැමිණි අතර එජාප පාක්ෂිකයින් සුළු පිරිසක්ද පැමිණ සිට ඇතැයිද වාර්තා වේ.

එම අවස්ථාව ආවරණය කිරීමට දෙස් - විදෙස් මාධ්‍යවේදීන් විශාල පිරිසක් පැමිණ තිබේ.

Last modified on Monday, 20 November 2017 11:53