April 24, 2024

ඒකාබද්ධ - ශ්‍රීලනිප සමගි කරන්න තීරණාත්මක සාකච්ඡා යළිත්! දෙපිල අතර නිතරග ගිවිසුමක්?

November 14, 2017

පළාත් පාලන මැතිවරණයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා ඒකාබද්ධ විපක්ෂය එකට එකතු කිරීමේ සාකච්ඡා තවදුරටත් සිදුවෙමින් පවතින බව ශ්‍රීලනිප ආරංචි මාර්ග පවසයි.

එම කණ්ඩායම් දෙක එකතු කිරීම සඳහා දෙපාර්ශ්වයම නිල නොවන මට්ටමින් සාකච්ඡා කරගෙන යන බවද වාර්තා වේ.

පළාත් පාලන මැතිවරණයේදී දෙකට බෙදී තරග කළහොත් එමගින් දෙපාර්ශ්වයටම අවාසියක් සිදුවිය හැකි බැවින් අවම කොන්දේසි හෝ එකට එකතු වී මැතිවරණයට තරග කළ යුත බව සාකච්ඡාවලට නිල නොවන මට්ටමින් මැදිහත්ව සිටින දෙපාර්ශ්වයෙන්ම ජ්‍යෙෂ්ඨයින්ගේ අදහස වී තිබේ.

නිතරග ගිවිසුමක්?

කෙසේවෙතත් ඉදිරි පළාත් පාලන මැතිවරණයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට හා ඒකාබද්ධ විපක්ෂයට එක්ව තරග කිරීමට නොහැකි වුවහොත්, දෙපාර්ශ්වය අතර නිතරග ගිවිසුමක් ඇති කර ගැනීමේ යෝජනාවක් ඉදිරිපත්ව ඇතැයි එම ආරංචි මාර්ග සඳහන් කරයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් කිහිපදෙනකු හා ඒකාබද්ධ විපක්ෂයේ ශ්‍රීලනිප මන්ත්‍රීවරුන් කිහිපදෙනකුද මෙම යෝජනාව ඉදිරිපත් කර ඇති බව එම ආරංචි මාර්ගවලින් පැවසේ.

පළාත් පාලන මැතිවරණයට ශ්‍රීලනිපය හා ඒකාබද්ධ විපක්ෂය වෙන් වෙන්ව තරග කළහොත් එය අවාසියක් විය හැකි බැවින් දෙපාර්ශ්වය අතර මෙවැනි එකඟතාවක් හෝ ඇතිකර ගැනීම වාසිදායක බව ඔවුන්ගේ අදහස වී ඇතැයි දැන ගන්නට තිබේ.

මෙවර පළාත් පාලන මැතිවරණය කොට්ඨාස හා අනුපාත මිශ්‍ර ක්‍රමය යටතේ පැවැත්වෙන අතර නාමයෝජනා ලැයිස්තු සකස් කිරීමේදී මේ පිළිබඳ අවධානය යොමුකරමින් කටයුතු කිරීම වැදගත් බව ඔවුන් පෙන්වාදී ඇතැයිද එම ආරංචි මාර්ග කියයි.

මේ අතර පළාත් පාලන ඡන්ද පිළිබඳව සාකච්ඡා කිරීමට ශ්‍රීලනිප මන්ත්‍රී කණ්ඩායමේ විශේෂ රැස්වීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි.

එම සාකච්ඡාවට ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් කිසිවෙක් සහභාගි නොවූ අතර දෙපිරිස එකතු කිරීම සම්බන්ධයෙන් කුමන පියවරක් ගන්නේද යන්න ගැන එහිදී සාකච්ඡාවී නැති බව ද වාර්තා වේ.

කලබල නොවී ජනාධිපති සමග සාකච්ඡාවට එන්න

ශ්‍රීලනිපයේ ජ්‍යෙඨයෙකු වන ඇමැති ඩබ්ලිව්.ඩී.ජේ. සෙනෙවිරත්න මහතා පැවසූවේ විවිධ පුද්ගලයන් විසින් කරනු ලබන අසම්මත ප්‍රකාශ ගැන කලබල නොවී ඒකාබද්ධ විපක්ෂය, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමග සාකච්ඡාව පැමිණියා නම් වඩාත් සාර්ථක ප්‍රතිඵල ලබා ගැනීමට අවස්ථාව සැලසෙන බවයි.

සුහදව කතා බහ කර ප්‍රශ්න තේරුම් ගෙන එකතු වීමට තිබූ අවස්ථාව මග හැරීම ගැන දැඩි කනස්සල්ලට හේතුවක් බවද හෙතෙම පෙන්වා දෙයි.

කොන්දේසි පිළිබඳව මෙම සාකච්ඡාවේදී යම් එකඟතාවයකට එළඹීමට හැකියාව තිබූ බවද ඔහු පැවසී ය.