April 26, 2024

“මගේ පවුලම අත්අඩංගුවට ගැනීමේ සූදානමක්“ - නාමල්ගෙන් විශේෂ ප්‍රකාශයක්

බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් සිදු කරන විමර්ශන යටපත් කිරීම සඳහා තම පවුලේ සාමාජිකයන් අත්අඩංගුවට ගැනීමට ආණ්ඩුව සූදානම් වන බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී නාමල් රාජපක්ෂ මහතා සඳහන් කරයි.

සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කර ඇත.

රග්බි ක‍්‍රිඩක වසීම් තාජුඩීන්ගේ ඝාතනය සම්බන්ධයෙන් වන විමර්ශනවලට අදාළව ප‍්‍රකාශයක් ලබා දීම සඳහා ශිරන්ති රාජපක්ෂ මහත්මිය අද(15) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණියේය.

මේ අතර පාර්ලිමේන්තු මන්ත‍්‍රී නාමල් රාජපක්ෂ මහතා ජාතික පුවත්පතකට විශේෂ ප්‍රකාශයක් කරමින් සඳහන් කර ඇත්තේ බැඳුම්කර වංචාව වසාගැනීමට මෙන්ම සමෘද්ධි සහනාධාරය කපා දැමීම හරහා ආණ්ඩුවට එල්ල වී ඇති ජනතා විවේචන වෙනත් අතකට යොමුකිරීම සඳහා ආණ්ඩුව නැවතත් රාජපක්ෂ පවුල ඉලක්ක කර ගනිමින් මර්දනය ආරම්භ කර ඇති බවයි.

සිය අත්වල ලේ ගෑවී නොමැති බවත්, කිසිවිටෙකත් සිය පවුල වංචා හෝ දූෂණ සිදු කර නොමැති බවත් බැඳුම්කර වංචාව වසාගැනීමටත්, බැඳුම්කර වංචාවෙන් රටට සිදු වූ පාඩුව වසා ගැනීමටත්, සමෘද්ධි සහනාධාරය කපා හැරීම නිසා එල්ල වූ ජනතා විරෝධය මගහරවාගැනීමටත් නැවතත් ආණ්ඩුව රාජපක්ෂවරුන් මර්දනය කිරීමට ආරම්භ කර තිබෙන බවත් මන්ත්‍රීවරයා සඳහන් කළේය.

සතියක් තුළ ප්‍රකාශ ලබාගැනීම සඳහා සිය පවුලේ තිදෙනෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට හා පොලිස් මූල්‍ය අපරාධ ඒකකයට කැඳවීමෙන් මේ බව පැහැදිලි වන බවද මන්ත්‍රීවරයා සඳහන් කර තිබේ.

එසේම ආණ්ඩුවට දේශපාලනික වශයෙන් පළිගැනීමට අවශ්‍යනම් රාජපක්ෂ පවුලේ දේශපාලනය කළ පුද්ගලයන්ගේ පළිගන්නා ලෙසත්, දේශපාලනය නොකළ පුද්ගලයන්ගෙන් පළිගැනීම් නතර කරන ලෙසත් ඒ මහතා ප්‍රකාශ කරයි.

එහිදී මන්ත්‍රීවරයා මෙසේද අදහස් දක්වා ඇත.

“රාජපක්ෂවරුවන්ගේන් දේශපාලනික වශයෙන් පළිගැනීමට අවශ්‍ය නම් මගෙන් හා පියාගෙන් පළිගන්න. අපි ඒ සඳහා සූදානම්. නමුත් මගේ මව මෙන්ම මගේ සහෝදරයන් දෙදෙනා දේශපාලනයට සම්බන්ධ නෑ. ඔවුන්ගෙන් පළිගැනීම යහපාලනය නොවෙයි“

නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාගේ ට්විටර් ගිණුමේ සටහන පහතින්,