April 19, 2024

මහින්දගේ තීන්දුව එළියට - ඊළඟ ඡන්දයට මහින්ද පොහොට්ටුවෙන් එයි

September 04, 2017

එළඹෙන මැතිවරණයට ඒකාබද්ධ පොදු එකතුවක් ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පොහොට්ටුවෙන් තරඟ වදින බව හිටපු ජනාධිපති සහ කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

ඔහු මේ බව පැවසූවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දෙනියාය ආසන බල මණ්ඩල රැස්වීමකට සහභාගී වෙමිනි.

පසුගිය මැතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නිර්මාණය කර තිබුණේ නම්, මන්ත්‍රීවරුන් 113 දෙනෙකු පත්කර ගැනීමට හැකියාව තිබුණු බවද හිටපු ජනාධිපතිවරයා සඳහන් කළේය.

එහිදී හිටපු ජනාධිපතිවරයා මෙසේද පැවසී ය.

“මේ අය වැඩකරන්නෙ නැතිව අපේ පවුලට ඇඟිල්ල දිගු කරනවා. ඔක්කොම හිරේ දානවා කියනවා. අපේ පැත්තේ ඉන්නේ හොරුලු. නමුත් ආණ්ඩුවේ එක ඇමතිකෙනෙක් තවත් ඇමතිකෙනකුට හොරා කියනවා. නැව් ගත්තා කියනවා. වරායෙන් හොරා කෑවා කියනවා.ඒ කට්ටිය, ඒ කට්ටියටම බැණ ගන්නවා. අපේ ළඟ ඉඳලා ඒ පැත්තට ගිය අය තමයි මේ බැණගන්නේ. අපේ ගාව හිටිය හොරු ටික ඒ පැත්තට ගිහිල්ලා. ඒ නිසා අපි පිරිසුදු වෙලා තියෙනවා.හිර ගෙවලවල දැම්මත් හිරගෙවල්වල සිට අපි සටන මෙහෙයවනවා.“

“අපි ඒකාබද්ධව විපක්ෂයක් හදලා තියෙනවා. සියලු දේශපාලන පක්ෂ අපිත් එක්ක ඉන්නවා. ගියපාර අපි ශ්‍රී ලංකා එකෙන් ඉල්ලලා අපි පරාද වුණා. අපි රට වටේ ඇවිදලා වැඩකරගෙන යද්දී ලේකම් අස්කළා. අගමැතිකම දෙන්නෑ කිව්වා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ එදා හදලා තිබුණා නම්, අපි එදා 113 ගන්නවා. නමුත් අපට ශ්‍රී ලංකා එක කඩන්න ඕන නැති හින්දා එකතු කරගෙන යන්න අපි මහන්සි ගත්තා. අන්තිමට පැරදුණු අයට ඇමතිකම් දීලා ඒ අයව යොදාගන්නවා අපට බණින්න. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට අපේ සුභ පැතුම් පුදකරනවා. අපි ඒකාබද්ධව පොදු එකතුවකින් තමයි ඊළඟ මැතිවරණයට සූදානම් වෙන්නෙ“ යනුවෙන් හෙතෙම වැඩිදුරටත් පැවසී ය.

Last modified on Monday, 04 September 2017 10:36