March 29, 2024

ඇමැති විජයදාසට ශ්‍රීලනිපයට එන්නැයි ආරාධනයක්!

එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත් කළහොත් ශ්‍රීලනිප නායක, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත එන්නැයි ඇමති විජයදාස රාජපක්ෂ මහතාට ශ්‍රීලනිප ඇමැතිවරයෙකු විසින් යෝජනාවක් ඉදිරිපත් කර තිබේ.

විජයදාස රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සිටි අයෙකු බවත් වර්තමාන කෝප් කමිටුවට පෙර තිබූ කෝප් කමිටුවේ සභාපති වූයේ විජේදාස රාජපක්ෂ මහතා බවත් විජයදාස රාජපක්ෂ මහතා හොරෙක් නොවන බවත් එම ඇමැතිවරයා ශ්‍රීලනිප සාකච්ඡාවකදී සඳහන් කර තිබේ.

එම කෝප් කමිටුව තුළින් හොරු සහ වංචාකාරයෝ පිළිබඳ විශාල හෙළිදරව් කීපයක් සිදුකළ බවත් එනිසාම එතුමාට මහින්ද රාජපක්ෂ මහතාගේ ආණ්ඩුවෙන් එළියට යාමට සිදු වූ බවත් එම ඇමැතිවරයා එහිදී පෙන්වා දී ඇත.

විජයදාස රාජපක්ෂ මහතා මහින්ද රාජපක්ෂ ආණ්ඩුවෙන් ඉවත් වූ පසු හිටපු ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේ තිබු රැස්වීමකදී ඒකාබද්ධ විපක්ෂයේ ඉඳන් අද විජයදාස ඇමැතිවරයාට එන්නැයි කියා ආරාධනා කරන මන්ත්‍රීවරු විජයදාස ඇමැතිවරයාව දැඩි ලෙස විවේචනයට ලක් කළ බවත් පෙන්වා දී ඇත.

ඒ අනුව එජාපයෙන් යම් තීන්දුවක් ගතහොත් ඇමති විජයදාස රාජපක්ෂ මහතා ශ්‍රීලනිපයට එක් කර ගත යුතු බවද එහිදී ඇමැතිවරයා අවධාරණය කර තිබේ.

කෙසේ වෙතත් එජාප ආරංචි මාර්ග සඳහන් කළේ අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒම සම්බන්ධයෙන් අවසන් තීරණය ලබන 17 වනදා රැස් වන එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරි මණ්ඩලයේදී ගන්නා බවයි.

අමාත්‍ය මණ්ඩලයේ සාමුහිකත්වය කඩ කිරීම සහ අධිකරණ අමාත්‍ය ධුරයේ වගකීම නිසි ලෙස ඉටු නොකළ බව පවසමින් එක්සත් ජාතික පක්ෂයේ පසුපෙළ මන්ත්‍රීවරුන් පිරිසක් විජේදාස රාජපක්ෂට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒමට සූදානමක් තිබිණි.

කෙසේ වෙතත් ඒ සම්බන්ධයෙන් තවමත් අවසන් තීරණයක් ගෙන නොමැති බව වාර්තාවේ.

Last modified on Monday, 14 August 2017 12:19