January 24, 2018

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අපේක්ෂකයින් පිරිසක් විසින් යාපනයේදී පළාත් පාලන මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරයකදී එල්.ටී.ටී.ඊ.ගීත කීපයක් වාදනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මේ වන විට යාපනය පුරා දැඩි නොසන්සුන් තත්ත්වයක් හටගෙන තිබේ.

විමුක්ති කොටි වැනි වදන් පළාත් පාලන මැතිවරණයේදී යොදා නොගන්නා ලෙස මැතිවරණ කොමසාරිස්වරයා උපදෙස් දී තිබියදී යාපනයේ එවැනි තත්ත්වයක් ඇතිවීම සම්බන්ධයෙන් යාපනයේ දේශපාලනඥයින් කීප දෙනෙකුම මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා මධ්‍යස්ථාන වෙත මේ සම්බන්ධයෙන් පැමිණිලි කොට තිබේ.

මේ සම්බන්ධයෙන් පොලීසියට පැමිණිලි කිරීමක් සම්බන්ධයෙන් තොරතුරු මෙතෙක් වාර්තා වී නොමැති නමුත් පොලිස් විශේෂ විමර්ශන අංශයේ නිලධාරීන් පිරිසක් මේ පිළිබදව පරීක්ෂණ ආරම්භ කොට තිබේ.

මෙම රැස්වීම සදහා පැමිණ සිටි තරුණයින්ගේ අත් වල තිබූ ජංගම දුරකතන වල ප්‍රභාකරන්ගේ ඡායාරූප තිබූ බවත් එල්.ටී.ටී.ඊ.සංවිධානයේ ගීත වාදනය වන අවස්ථාවේදී එම තරුණයින් ජංගම දුරකතන ඔසවමින් සිටි බවත් සිද්ධිය සියැසින් දුටුවෝ පවසා තිබේ.

මේ නිසා මෙය අත්වැරදීමක් නොව සිතාමතාම හා සැලසුම් සහගතව සිදු කරන ලද්දක් බව යාපනයේ ජනතාව කියා සිටිති.

(දිනසේන රතුගමගේ)

ගල්කිස්සේ සිට කන්කසන්තුරේ බලා ධාවනය වෙමින් තිබූ අති සුඛෝපභෝගී දුම්රියේ එන්ජිම තුල අද (15) පස්වරු 12.35 ට පමණ හදිසියේම ගින්නක් හටගෙන තිබේ.

මෙම ගින්නත් සමගම බියට පත් මගීන් දුම්රියෙන් සිය ගමන් මළුද රැගෙන බැස ඇති අතර ගින්න හට ගත් අවස්ථාවේදී විදේශිකයින් විශාල ප්‍රමාණයක්ද දුම්රිය තුල සිට ඇත.

දුම්රියේ රියදුරු හා සහායකයා වහාම දුම්රිය ආරක්ෂිත ස්ථානයක නවත්වා සිද්ධිය පිළිබදව දැනුම් දීමෙන් පසු ගිනි නිවන රථ හා ප්‍රදේශවාසීන් පැමිණ ගින්න මැඩ පවත්වා තිබේ.

මෙම ගින්න හටගෙන ඇත්තේ දුම් රිය එන්ජිමේ ඇති වූ කාර්මික දෝෂයකින් බවට විශ්වාස කරයි. කෙසේ වෙතත් ගින්න නිවා දැමීමෙන් පසුව පැය එකහමාරක පමණ කාලයක් ප්‍රමාද වී දුම්රිය කන්කසන්තුරේ බලා ගමන් කොට තිබේ.

(දිනසේන රතුගමගේ)

හිටපු අමාත්‍ය, පාර්ලිමේන්තු මන්ත්‍රී විජේදාස රාජපක්ෂ මහතාගේ ආරක්ෂක නිලධාරින් සංඛ්‍යාව දෙදෙනෙකු දක්වා අඩු කර ඇතැයි වාර්තා වේ.

මීට පෙර ඔහු අමාත්‍ය ධුරය දරන සමයේ ආරක්ෂක නිලධාරින් 6 දෙනෙකු යොදවා සිටි අතර අමාත්‍ය ධුරයෙන් ඉවත්වීමත් සමඟ මෙලෙස ආරක්ෂක නිලධාරින් ප්‍රමාණය අඩු කර ඇති බව ආරංචි මාර්ග පැවසී ය.

එක්සත් ජාතික පක්ෂයේ කළ දැනුම් දීමකට අනුව ජනාධිපතිවරයා බුද්ධශාසන සහ අධිකරණ අමාත්‍ය ධුරය දැරූ විජේදාස රාජපක්ෂ මහතා එම ධූරයෙන් ඉවත් කරනු ලැබුවේ පසුගිය වසරේ අගෝස්තු මස 23 වනදායි.

පසුගිය 28 වන දා ව්‍යවස්ථාදායක සභාවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී විජේදාස රාජපක්ෂ මහතා ඉල්ලා අස්විය.

දෙහිඅත්තකණ්කඩිය ප්‍රාදේශිය සභාව සඳහා ශ්‍රීලනිපයෙන් ඉදිරිපත් කළ නාම යෝජනා පත්‍රය ප්‍රතික්ෂේප කිරිමට එරෙහිව පවරා තිබු මුලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට නොගෙනම ප්‍රතික්ෂේප කිරිමට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කළේය.

මෙම පෙත්මහ විභාගයට ගැනීමට තරම් ප්‍රමාණවත් කරුණු නැති බව සඳහන් කරමින් අගවිනිසුරු ප්‍රියසාද් ඩෙප්, සිසිර ද අබෘ සහ නලීන් පෙරේරා යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල එලෙස තීරණය කළේය.

දකුණු ආසියාවෙන් අත් අඩංගුවට ගත් විශාලතම කොකේන් මත්ද්‍රව්‍ය තොගය විනාශ කිරීමේ උත්සවය අද (15) උදෑසන කටුනායක නිදහස් වෙළඳ කලාපයේ පිහිටි ඉන්සී ඉකෝසයිකල් ආයතන පරිශ්‍රයේ දී පැවැත්වුනි .

මෙම කොකේන් මත්ද්‍රව්‍ය තොගය ඉක්වදෝරයේ සිට බෙල්ජියම , ස්පාඤ්ඤය ඔස්සේ ඉන්දියාවට දෙසැම්බර් 09 වනදා රැගෙන යමින් තිබූ නැව , කොළඹ වරායට පැමිණ සිටියදී , එහි තිබූ ලී තොගයක් අතර සගවා තිබී පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබුණි .

රුපියල් කෝටි 1400 ක් පමණ වටිනා මෙම කොකේන් තොගය , කිලෝ ග්රෑම් 928 ග්රෑම් 229 කින් යුක්ත විය . ශ්‍රී ලංකාවේ දී  අධිකරණ ක්‍රියාමාර්ග නිමවීමෙන් අනතුරුව කටුනායක නිදහස් වෙළඳ කලාපයේ පිහිටි මෙම ඉන්සී ඉකෝසයිකල් ආයතනයේ දී විනාශ කිරීම සුදුසු බව දීර්ඝ අධ්‍යයනයකින් පසුව අනාවරණය කරගෙන තිබුණි .

ඒ අනුව අද (15) පෙරවරු 10.00 ට පමණ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලාල් රණසිංහ බණ්ඩාර , ශ්‍රී ලංකා රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සහ අන්තරායකාරී ඖෂධ පාලක මණ්ඩලයේ නිලධාරීන්ගේ අධීක්ෂණය යටතේ මෙන්ම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන , අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ  , අමාත්‍ය සාගල රත්නායක , අමාත්‍ය රන්ජන් රාමනායක ,අමාත්‍ය පියසේන ගමගේ , පොලිස්පති පූජිත් ජයසුන්දර යන මහත්වරුන්ගේ නිරීක්ෂණය යටතේ සහ ශ්‍රී ලංකාවේ සියලුම මාධ්‍ය ඉදිරිපිට ප්‍රථම වතාවට මෙම කොකේන් තොගය විනාශ කිරීම ආරම්භ විය .

මුලින්ම කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා මෙම කොකේන් තොගය පරීක්ෂා කර , කිරා මැන බලා , ඉන් අනතුරුව රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් නියැදි පරීක්ෂාවකට ලක් කිරීමෙන් අනතුරුව , මෙම කොකේන් දියර බවට පත් කිරීමේ ක්‍රියාවලිය ආරම්භ විය .

ඉන්පසු GPS තාක්ෂණය සහිත විශේෂ ප්‍රවාහන රථ යොදා ගෙන , මෙම දියර කොකේන් තොගය දැඩි ආරක්ෂක විධිවිධාන යටතේ පුත්තලම සිමෙන්ති කම්හල වෙත රැගෙන යන ලදී.

එහිදී සෙල්සියස් අංශක 2000 ක උෂ්ණත්වයෙන් යුතු ප්‍රධාන උදුන තුලට , මෙම දියර කොකේන් ඇතුළු කිරීමෙන් අනතුරුව , තත්පර 06 ක් වැනි කාලයක් තුළ මේවා දැවී විනාශ වීමට නියමිතය .

මෙම ඉන්සී ඉකෝසයිකල් ආයතනය පසුගිය 2017 වසර තුළ මේ ආකාරයට කොකේන් වලටත් වඩා භයානක රසායනික ද්‍රව්‍ය මෙට්‍රික් ටොන් හය ලක්ෂ දෙදහස් අටසිය අනූ අටක් (602,898) මෙම පුත්තලම කම්හල ඔස්සේ විනාශ කර ඇති බව ද මෙම සමාගමේ ප්‍රකාශකවරයෙකු පැවසීය .

(ටී.කේ.ජී.කපිල )

 

 

යාපනයේ පැවැති තෛපොංගල් උත්සවයකට සහභාගී වීමට ගිය අමාත්‍ය මහින්ද අමරවීර මහතාට යළි කොළඹ බලා පැමිණීමට ගුවන් හමුදාව මගින් විශේෂ හෙලිකොප්ටරයක් ලබාදී ඇතැයි වාර්තා වේ.

අමරවීර මහතා යාපනයට ගිය පෞද්ගලික ගුවන් සේවාවකට අයත් යානාවක් පලාලිහි ගොඩබෑමට නොහැකිවීම නිසා විනාඩි 45ක පමණ කාලයක් ගුවනේ සැරි සැරූ බව වාර්තා විය. පසුව ගුවන් හමුදා නිලධාරීන්ගේ ආරාධනාව මත ගුවන් හමුදාවට අයත් යානයකින් ආපසු කොළඹ පැමිණීමට අමාත්‍ය මහින්ද අමරවීර මහතා එකඟ වී තිබේ.

අමාත්‍යවරයාට ගුවන් හමුදාවට අයත් යානයකින් ආපසු කොළඹ පැමිණීම සඳහා ආරාධනා කළ බවත් ඒ අනුව අමරවීර මහතා ගුවන් හමුදා යානයකින් යළි කොළඹ බලා පැමිණීමට නියමිත බවත් ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසී ය.

දිගින් දිගටම බාර් වසන්න යැයි කිවූ නිසා එය අහෝසි කළ බව ජයන්ත සමරවීර මහතා පවසයි.

ඒ පසුගියදා පැවති ජන හමුවකට එක්වෙමිනි.

එහිදී ඒ මහතා මෙසේ අදහස් දැක්වීය.

“මහින්ද කඳවුර දිගටම කිව්වා බාර් උදේ 8 ඉදන් මධ්‍යම රාත්‍රී වෙනකන් අරින එක නවත්තන්න නවත්තන්න. නැත්තන් අපි නවත්තන්න දන්නවා කියලා. දැන් මොකෝ වෙන්නේ? අන්න ආරංචියක් එනවා සිරිසේන මහත්තයා මහින්ද කඳවුරේ අණසකට කීකරු වුණා. බාර් ගැසට් එක අකුලන්න උපදෙස් දුන්නා කියලා අපිට ආරංචි වුණා. ඒ අපි ලබන ජයග්‍රහණයක්. පළාත් පාලන ජන්දේ දෙන්න නෙවෙයි හිටියේ නොදෙන්න. ඒකත් අපි ගත්තා. බාර් එක ඇරපු වෙලාව වෙනස් කරන ගැසට් එක වෙනස් කළා. පෙබරවාරි 10 යහපාලනය කම්මුතු කරනවා කියන එක ඉතා පැහැදිලියි.”

බස්නාහිර පළාත් මහ ඇමැති ඉසුර දේවප්‍රිය මහතාගේ ඇතැම් ප්‍රකාශ ගැටලු සහගත බවත් පසුගියදා එතුමා කළ ප්‍රකාශය පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ලවා පරීක්ෂණ කෙරිය යුතු බවත් හිටපු අමාත්‍ය, එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ ඊයේ (14) ශිවන් කෝවිලේ පැවති තෛපොංගල් දින ආශිර්වාද පූජාවට සහභාගී වීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් විසින් අසන ලද ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමිනි.

මෙහිදි අදහස් දැක්වූ රවි කරුණානායක මන්ත්‍රීවරයා,

“එක්සත් ජාතික පක්ෂයට එරෙහිව එල්ලවන චෝදනා ඉතා අසත්‍යයි. රටේ වැදගත් ප්‍රශ්න අපට කතා කරන්න තිබෙනවා. සමහර දේශපාලනඥයන් බොරුවෙන් යැපෙන්න උත්සාහ කරන බවක් පෙනෙනවා. මේ රටේ බොරු කියන එක වැඩිවෙලා. සමහරු වැඩ කරන්නෙ නැතිව කතා කරන එකයි සිදුවන්නෙ. අප අලුත් අරමුණකින් ඉදිරියට යා යුතුයි.

මාධ්‍ය තුළින් විවිධ දේ ප්‍රචාරය වනවා. ශ්‍රී ලංකන්, මිහින් ලංකා ආයතනය, හෙජින් ගිවිසුම, මිග් ගනුදෙනුව ආදී කරුණු විසි අටක් පිළිබඳව ඉක්මනින් සොයා බැලිය යුතුයි. හෙජිං සුදුවෙන් මිලියන් අනූ හය දාහක්, ශ්‍රී ලංකන් ආයතනයේ මිලියන් එක් ලක්ෂ හතලිස් හයදාහක අලාභය තිබෙනවා. ඊට පසුව අලුතින් අහස් යානා ගත් එක නිසා මිලියන් එක් ලක්ෂ තිස් අටදාහක අලාභයක් සිදුවෙලා තිබෙනවා. මේවා පිළිබඳව සෙවිය යුතුයි. බැදුම්කර කොමිසමේ වාර්තාව එළියට දමමු කියා යි මා ප්‍රකාශ කරන්නෙ. එවිට මාධ්‍යයටත් එය කියවිය හැකියි.

එක්සත් ජාතික පක්ෂයේ ශක්තිමත් ඉදිරි ගමන පිළිබඳව බොහෝ දෙනා බිය වී අපට පහර ගැසීම මේ වන විට ආරම්භ කර තිබෙනවා. සමහර පක්ෂ වල දේශපාලනය ඇතැමෙකුට තිත්තයි. අපි අලුත් වෙනසක් රටේ ඇති කරමින් සිටිනවා. ඉසුර දේවප්‍රිය මහතාගේ ඇතැම් ප්‍රකාශ ගැටලු සහගතයි. පසුගියදා එතුමා කළ ප්‍රකාශය පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ලවා පරීක්ෂණ කෙරිය යුතුයි.“ යැයිද මන්ත්‍රීවරයා වැඩිදුරටත් පැවසී ය.

පොහොට්ටුවේ චෝදනා පිළිගන්නා බව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය පවසයි.

ඒ පසුගියදා පැවති ජන හමුවකට එක්වෙමිනි.

එහිදී හිටපු ජනාධිපතිනී මෙසේ අදහස් දැක්වීය.

“දැන් මේ රජයේ ජනාධිපති, අගමැති හොරකම් කරන්නේ නැහැ. ඇමතිවරු වැඩි හරියක් හොරු නෙවෙයි. අරයා හොරු කරපු අයත් අපේ ආණ්ඩුවේ ඉන්නවා. ඔක්කොමලා කපලා කපලා දාන්න බැහැනේ මුහුදට. හොරකම් කරන පොලිස්කාරයෝ ඔක්කොම මරලා විසි කරන්න බැහැ. හොරකම් කරන රජයේ නිලධාරීන් මරලා දාන්න බැහැ. හිමින් හිමින් මේවා වෙනස් කරන්න ඕනේ. අන්ත හොරු අපි අයින් කරනවා ටික ටික. උගුරට ලේ එනකන් පොහොට්ටුකාරයෝ කෑ ගහනවා බැඳුම්කරය ගැන. ඔව් එතන වැරද්දක් වුණා. ඒ හිටපු මහ බැංකු අධිපති වහාම ගෙදර යැව්වා, ඒකට සම්බන්ධ වුණ මුදල් ඇමැති ගෙදර යවලා, මේ රටේ හිටපු අධිකරණ ඇමැති කෙනෙක් ගෙදර යවලා වැරදි කරලා.”

“තවත් අය ගෙදර යවනවා. ඔක්කොමලා තමුන්නාන්සේලා දන්නෙත් නැහැ. රාජපක්ෂගේ කැචර්ලා අමතක කරලා අද 2006 ඉඳලා ඇත්තටම එයා බලයට ආවේ 2005. 2015 වෙනකන් මහ බැංකුවේ පුළුවන් තරම් මහා පරිමාණයේ යෝධ හොරකම් කෙරුවේ. රාජපක්ෂ පත් කරපු නිවාඩ් කබ්රාල් කියන මිනිහා පල් හොරා. එයාර් ලංකා සමාගම විනාසයි. නෝනගේ මල්ලිව දැම්මා සභාපති කරලා. පහුවදා ඉදන්ම දුන්නා නේද වැඩේ. ඒ අවුරුදු 6 ඇතුළත අලාභය ශ්‍රී ලන්කන් එයාර් ලයින් එකේ කෝටි 9300යි. එතකොට ඒ අය පරාජය කරන එකේ වැරැද්දක් තියෙනවද? පරාජය කරන්න එක්සත් ජාතික පක්ෂය එක්ක එකතු වුණ එකේ වැරැද්දක් තියෙනවද?”යැයිද ඒ මහත්මිය වැඩිදුරටත් පැවසීය.

කො‍ටහේන ශිවන් කෝවිලේ පැවැති ආශීර්වාද පූජාවකට අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (14) දින සහභාගී විය.

කෝවිලේ ප්‍රදාන කුරුක්කල් තුමා වන සුරේන්ද්‍ර ශර්මාතුමා විසින් එම ආශීර්වාද පූජාව පවත්වමින් අගමැතිවරයාට අශීර්වාද පළ කළේය.

එම අවස්ථාවට බන්ධනාගාර ප්‍රතිසංස්කරණ, පුනරුත්ථාපන, නැවත පදිංචි කිරීම හා හින්දු ආගමික කටයුතු අමාත්‍ය ඩී.එම්. ස්වාමිනාදන්, පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක යන මහත්වරුන් ද සහභාගීවී සිටියහ.