May 06, 2024

ස ජ බ නායකයා හා සභාපති අතර බලය ගැන මත ගැටුමක්

සමගි ජන බලවේගයේ නායකයා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතායි.

එම පක්ෂයේ සභාපතිවරයා වන්නේ ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතායි.

පරස්පර මත

මේ වන විට දෙදෙනා අතර රටේ පාලනය සම්බන්ධයෙන් පරස්පර මත දෙකක් ඉස්මතුව තිබෙනවා.

ඒ භාරකාර ආණ්ඩුවක් බාර ගැනීම සම්බන්ධයෙන්.

පක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කරන්නේ තමන් ආණ්ඩුවක් බාර ගන්නේ මහ මැතිවරණයකින් ලැබෙන ජනවරමකට අනුව බවයි.

ව්‍යවස්ථා සංශෝධනය

ඒ හැරුණු කොට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයකින් විධායක ජනපති ක්‍රමය අහෝසි කොට අගමැති ප්‍රමුඛ පාර්ලිමේන්තුවට විධායක ජනපති සතු බලය ගත යුතු බවටත් ඔහු යෝජනාවක් කොට තිබෙනවා.

එහෙත් පක්ෂයේ සභාපති වන ෆොන්සේකා මහතා සඳහන් කරන්නේ පවතින අර්බුදකාරී තත්ත්වයට විසඳුම් සෙවීම සඳහා සමගි ජන බලවේගය භාරකාර ආණ්ඩුවක් පිහිටුවීමේ අභියෝගය භාර ගත යුතු බවයි.

එය සුළුතර ආණ්ඩුවක් ලෙස පිහිටුවිය යුතු බවටද ඔහු යෝජනා කරනවා.

ඉදිරිපත් කරන කොන්දේසිය

ඒ අභියෝගය බාර ගැනීම සඳහා සමගි ජන බලවේගයට පිට කොන්දක් තිබිය යුතු බවද පෙන්වා දෙන ඔහු එසේ භාරකාර ආණ්ඩුවක් බාර ගැනීම සම්බන්ධයෙන් කොන්දේසියක්ද ඉදිරිපත් කරනවා.

ඒ ජනපති හා අගමැති යන ධූර දෙකම එසේ පිහිටුවන සුළුතර ආණ්ඩුවට ලැබිය යුතු බවටයි.

අභියෝගය බාර නොගෙන මේ ආකාරයට යෑමට ඉඩ දුන්නොත් ඉදිරියේදී තමන් පිහිටුවන ආණ්ඩුවකට භාර ගැනීමට ලැබෙන්නෙත් කඩා වැටුණු රටක් බවයි ෆොන්සේකා මහතාගේ මතය වන්නේ.

පාර්ලිමේන්තුවේ කළ ප්‍රකාශ

පක්ෂ නායක සජිත් ප්‍රේමදාස හා පක්ෂ සභාපති ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා යන මහත්වරුන් දෙපළම එකිනෙකට වෙනස් සිය මත ප්‍රකාශ කළේ පාර්ලිමේන්තුවේදී.

සජිත් ප්‍රේමදාස මහතා සිය මතය මීට පෙර කීප වතාවක්ම පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කර තිබෙන අතර ෆොන්සේකා මහතා සිය මතය ප්‍රකාශ කළේ ඊයේ (21).

ඒ සම්බන්ධයෙන් සමගි ජන බලවේගයේ කිසිවෙකු මෙතෙක් ප්‍රතිචාර දක්වා නැහැ.

පාර්ලිමේන්තුවේ 113 පෙන්වීමට හැකි අයෙක් සිටීනම් ඔහුට හෝ ඇයට අග්‍රාමාත්‍ය ධූරය භාර දීමට සූදානම් බව ජනපතිවරයා ප්‍රමුඛ රජය මේ වන විටත් ප්‍රකාශ කොට තිබෙනවා.

Rate this item
(2 votes)