May 04, 2024

පැනපු මන්ත්‍රී රාජ්‍ය ඇමතිකම මදි කියයි : කැබිනට් ඉල්ලයි

සමගි ජන බලවේගයෙන් පාර්ලිමේන්තුවට තේරී පත් වී ආණ්ඩුවට සහාය දීමට ගිය අරවින්ද කුමාර් මන්ත්‍රීවරයා ව්‍යාකූලත්වයකට පත්ව සිටින බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරනවා.

2020 ඔක්තෝම්බර් මස විසි වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට සහය දෙමින් ඔහු ආණ්ඩුව සමග එකතු වුණා.

රාජ්‍ය අමාත්‍ය ධූරය

පසුගියදා නව ඇමතිවරුන් පත් කරද්දී ඔහුට වතු යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍යධූරය හිමි වුණා.

එම ධූරය මෙතෙක් දැරූයේ ලංකා කම්කරු කොංග්‍රසයේ ප්‍රධාන ලේකම් ජීවන් තොණ්ඩමන් මහතායි.

එහෙත් දැනගන්නට තිබෙන තොරතුරු වලට අනුව ඔහු ඉන් සෑහීමකට පත් වී නැහැ.

තමන් රාජ්‍ය අමාත්‍යධූරයක් නොව කැබිනට් ඇමති ධූරයක් බලාපොරොත්තු වන බව අරවින්ද කුමාර් මහතා ආණ්ඩුව වෙත දැනුම් දී ඇති බව එම ආරංචි මාර්ග පෙන්වා දෙනවා.

තීන්දුවක් ගැනීමට සූදානම්

එම ආරංචි මාර්ග වැඩි දුරටත් සඳහන් කරන්නේ එසේත් නැතිනම් ආණ්ඩුවට එරෙහි විශ්වාසභංගයක් පැමිණි අවස්ථාවක තමන්ට තීන්දුවක් ගැනීමට සිදුවන බවට අනතුරු ඇඟවීමක් ඔහු කර තිබෙන බවයි.

පත් වූ රාජ්‍ය අමාත්‍ය ධුරයෙන්ද ඉල්ලා අස්වන ලෙස ඔහුට බල කරමින් ඊයේ (23) තලවකැලේ ලිදුල ප්‍රදේශයේ පිහිටි ඔහුගේ නිවස ඉදිරිපිට වතුකරයේ තරුණයින් පිරිසක් උද්ඝෝෂණයක් ද පවත්වා තිබෙනවා.

සියලු දේම මිල ගණන් ඉහළ ගොස් ජීවන බර ඉහළ ගොස් ඇති අවස්ථාවක අරවින්ද කුමාර් මහතා රාජ්‍ය අමාත්‍යධූරයක් භාර ගැනීම අනුමත කළ නොහැකි බවත් , ඔහුට ඡන්දය දුන් වතුකරයේ ජනතාවට මෙතෙක් කිසිදු සේවයක් නොකර ඇති බවටත් උද්ඝෝෂණය කළ පිරිස චෝදනා කොට තිබෙනවා.

පක්ෂයෙන් එළියට

ඔහු ප්‍රථම වතාවට පාර්ලිමේන්තුවට තේරී පත් වූයේ 2015 දි.

බදුල්ල දිස්ත්‍රික්ක නියෝජනය කරන ඔහු කඳුරට ජාතික පෙරමුණ සහ සමගි ජන බලවේගය සන්ධාන පාර්ශවයක් වන දමිළ ප්‍රගතිශීලී පෙරමුණේ සාමාජිකයෙක්.

ආණ්ඩුවට සහය දීමට යාම මත මේ වන විට ඔහුව එම පෙරමුණෙන්ද ඉවත් කොට තිබෙනවා.

Rate this item
(2 votes)