May 13, 2024

ඉන්දියාවේ සීනි ඩුබායි ඇසුරුමේ - කුණු සිනී කවන්න හදන හැටි

December 14, 2021

මිනිස් පරිභෝජනයට නුසුදුසු තත්ත්වයේ පැවති ඉන්දියාවෙන් ලංකාවට ගෙන්වා තිබූ සීනි තොගයක් දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය පිටුපස පෞද්ගලික ගබඩාවක ඉතා සූක්ෂම ලෙස නැවත ඩුබායි රටෙන් ගෙන්වූ සීනි බවට ඇසුරුම් වලට පත් කරමින් සිටියදී දඹුල්ල මහ නගර සභාවේ සෞඛ්‍ය අංශ ඊයේ (13) පස්වරුවේ සොයාගත් බව දඹුල්ල නගරාධිපති ජාලිය ඕපාත මහතා පැවසුවා.

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය පිටුපස පෞද්ගලික ගබඩාවක ඉදිරිපස දොර වසා කම්කරුවන් යොදාගෙන ගබඩාව තුළ මෙම ක්‍රියාවලිය දින කිහිපයක සිට සිදුවෙමින් පවතින බවට නගරාධිපති ජාලිය ඕපාත මහතාට නගර සභාවේ සෞඛ්‍ය අංශයේ සේවකයකු විසින් ලබා දුන් තොරතුරක් මත එම ස්ථානයට පැමිණ නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව මෙම සීනි තොගය සහ වෙළඳසැල් හිමිකරු පිළිබඳව දඹුල්ල පොලිසියට පැමිණිලි කිරිීමට පියවර ගෙන තිබෙනවා.

ඉදිරි නත්තල හා උත්සව සමයේ මෙම සිනි තොග රට පුරා පාරිබෝගික ජනතාවට අලෙවි කිරීම මෙම කූට වෙළෙදුන් ඉතා පහත ක්‍රියාවලියක නිරතවී සිටි බව දඹුල්ල නගරාධිපතිවරයා සඳහන් කළා.

රටේ සිනි හිගයක් පැවති වකවානුවේ සඟවා තිබූ මෙම සීනි මීයන් සහ වෙනත් සතුන් විසින් විනාශ කොට මේවායේ ඇසුරුම් සියල්ල දිරා ගොස් තෙත බරිත හා අව පැහැ ගැන්වී ඇතැම් සීනි මිනිස් පරිභෝජනයට නුසුදුසු තත්ත්වයට ම පත්වව තිබූ බව ජාලිය ඕපාත මහතා පෙන්වා දුන්නා.

තමන් ඇතුළු කණ්ඩායම එම ස්ථානයට යන විටත් සේවකයන් කිහිප දෙනෙකු ඉන්දියාවෙන් ගෙන්වා තිබු සීනි තොග බිම දමාගෙන කිසිදු සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේදයකින් තොරව මෙම සීනි වෙන්කොට කල් ඉකුත්වීමේ දින සහිත නිෂ්පාදන දින වෙනස් කොට ඩුබායි රටෙන් ගෙන්වූ සීනි බවට පත් කරමින් නැවත ඇසුරු කරමින් සිටි බව නගරාධිපතිවරයා ප්‍රකාශ කළේ.

මෙම ක්‍රියාවලිය සිදු කරමින් සිටී ව්‍යාපාරිකයන් කියා සිටියේ ආහාරයට සුදුසු ප්‍රමාණය පමණක් ලබාගෙන ඉතිරි සීනි තොග ඉවත් කිරීම සඳහා සකසමින් සිටි බවය.

කෙසේ වෙතත් මෙම ගබඩාව පිළිබඳව නිරීක්ෂණය කිරීමේදී ආහාර ද්‍රව්‍ය රැසක් ද දැඩි ලෙස අපවිත්‍ර වී එමෙන්ම රෙදි සෝදන සබන් කුඩු වර්ග, දියලුණු, කොත්තමල්ලි, සහල් ආදී එකම ගබඩාවක එකම ගොඩේ ඇසුරුම් කර ඇති අයුරු දැක ගැනීමට හැකි වූ බව ද නගරාධිපති ජාලිය ඕපාත මහතා කියා සිටියා.

මෙම ව්‍යාපාරිකයාට මීට පෙර අවස්ථා කිහිපයකදීම ජනතාව පරිභෝජනය කිරීමට නුසුදුසු තත්ත්වයේ පවතින පාරිභෝගික භාණ්ඩ ගබඩා කිරීම් අලෙවි කිරීම ආදී සිදු නොකරන ලෙස අවවාද කිරීම් සහ අධිකරණ කටයුතු ක්‍රියා මාර්ග පවා රැගෙන තිබෙන බවත් එහෙත් දිගින් දිගටම මෙම ක්‍රියාවලිය සිදු කරන නිසා දඹුල්ල මුලස්ථාන පොලිස් පරීක්ෂක රුශාන්ත පෙරේරා මහතාට දැනුම් දී පොලිසියේද සහය ලබාගෙන මෙම සීනි තොගය මහජනතාවට අලෙවි කිරීමට සූදානම් කිරීම සම්බන්ධයෙන් දඹුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු ඉදිරිපත් කොට නීතිය ක්‍රියාත්මක කරන බව ඒ මහතා පෙන්වා දුන්නා. 

මෙම ව්‍යාපාරිකයන් කියා සිටියේ ඉන්දියාවෙන් ගෙන්වූ මෙම සීනි ගබඩාව තුළ තිබියදී දිය වී ඇති බව ය. එම නිසා ඇසුරුම් ඉවත් කොට වෙනත් රටක ඇසුරුම් වලට යෙදුවේ ඉන්දියාවේ ඇසුරුම් නොමැති නිසාවෙන් බව ය.

කෙසේ වෙතත් එම සීනි තොග ආහාරයට ගැනීමට සුදුසු ඒවා පමණක් අලෙවි කරන බවද මෙම ගබඩාවේ එවැනි සීනි කිලෝ දහදාහක් පමණ පවතින බවත් ඔහු පෙන්වා දී තිබෙනවා.

පසුව දඹුල්ල පොලීසියේ පොලිස්  නිලධාරීන් කිහිප දෙනෙකු පැමිණ ගබඩාව පරීක්ෂා කිරීම් කටයුතු සිදු සිදුකර තිබෙනවා.

ගබඩා හිමිකරුවන් නැවත මෙම වරද සිදු නොකරන බවත් එම නිසා සමාවක් ලබා දෙන ලෙස එහි සේවකයෝ පොලිසියෙන් කළ ඉල්ලීම පොලිසිය ප්‍රතික්ෂේප කරමින් කියා සිටියේ සීනි ආහාරයට ගනිද්දී සෝදා පරිභෝජනය නොකරන බවය.

වෙළදාමකිරීමේදී වගකීමකින් යුතුව කටයුතු කිරීම ව්‍යාපාරිකයන් සතු වගකීමක් බව ද පොලීසිය මෙම ව්‍යාපාරිකයාගේ සේවකයන්ට තරයේ අවවාද කර තිබෙනවා.

දඹුල්ල නගරාධිපති ජාලිය ඕපාත මහතා කියාසිටියේ ව්‍යාපාරිකයන් අපහසුතාවයකට පත් කිරීම නොව රටේ මහජනතාව ආරක්ෂා කිරීම ඔවුන්ගේ සෞඛ්‍ය පිළිබඳව තීන්දු තීරණ ගැනීම් දඹුල්ල ප්‍රදේශ්යේ ප්‍රධාන සෞඛ්‍ය බලධාරීයා ලෙස තමාගේ වගකීම බවය.

කෙසේ වෙතත් දඹුල්ල නගරය දිවයිනේ රට මැද පිහිටා ඇති නිසා ආර්ථික මධ්‍යස්ථානයට පැමිණෙන බොහෝ ව්‍යාපාරිකයන් මෙම ගබඩා වලින් අත්‍යාවශ්‍ය භාණ්ඩ රැසක් මිලදී ගැනීම් කටයුතු සිදු කරන බවය.

එම ආහාර එක රැයකින් රට පුරා බෙදා හරින බවද අනාවරණය විය.

මෙම ගබඩාවට මුද්‍රා තබා  අද (14) දඹුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කොට අධිකරණය ලබාදෙන තීරණය ක්‍රියාත්මක කරන බව පොලිසිය පැවසුවා.

දඹුල්ල - කාංචන කුමාර ආරියදාස

 

Rate this item
(0 votes)
Last modified on Wednesday, 15 December 2021 00:13