May 10, 2024

ආණ්ඩුව නිසි මඟට ගන්න විමල්, ගම්මන්පිල පෙරට

November 15, 2021

ආණ්ඩුව ජනතා අභිලාෂයට එරෙහිව කටයුතු කරන්නේ නම් ආණ්ඩුව නිසි මගට ගැනීමට ආණ්ඩුව ඇතුලේ විපක්ෂය ලෙස කටයුතු කරන බවට තමන් සහ විමල් වීරවංශ මහතා පසුගිය පාර්ලිමේන්තු මැතිවරණය අතරතුර ජනතාවට ලිඛිතව පොරොන්දු වූ බවත් අද ආණ්ඩුව තුල අරගල කරමින් ඉටු කරනුයේ එම පොරොන්දුව බවත් බලශක්ති අමාත්‍ය නීතිඥ උදය ගම්මන්පිල මහතා ප්‍රකාශකර සිටියා.

පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයේ දී ඒ මහතා ලබාගත් මනාප 136,331 වෙනුවෙන් පැළ 136,331ක් ජාතියට දායාද කිරීමේ “මනාපයට පැළයක්”  වැඩසටහනේ සමාරම්භක උත්සවය මුතුරාජවෙල දී පැවති අවස්ථාවේ දී උත්සව සභාව අමතමින් ඒ මහතා මේ බව සදහන් කර සිටියා.

එහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා මෙසේ සදහන් කර සිටියා,

"මේ දවස් වල ජනතාවට පේනවා අපි ආණ්ඩුවත් එක්ක රණ්ඩු වෙමින් ඉන්නවාය කියලා. ඔව් ආණ්ඩුවත් එක්ක මේ දවස්වල රණ්ඩු වෙන්නෙත් මැතිවරණ පොරොන්දුවක් ඉටු කරන්න. 2020 ජූලි මාසේ 18 වෙනිදා මැතිවරණ ව්‍යාපාරය යන අතරෙ විමල් වීරවංශ ඇමතිතුමත් මමත් ලිඛිත ප්‍රතිඥාවක් ජාතියට ලබා දුන්නා. අපේ ආණ්ඩුව ජනතාවට දුන්නු ප්‍රතිඥාවට පිටින් යනවනම් ,ජනතා අභිලාෂයට පයින් ගහලා කටයුතු කරන්න හදනවා නම් ආණ්ඩුව දුන් පොරොන්දු  වලට නිසි මගට ගේන්න අපි ආණ්ඩුව ඇතුලේ විපක්ෂය ලෙස කටයුතු කරනවාය කියලා. අද අපි ඉටු කරමින් ඉන්නේ ඒ මැතිවරණ පොරොන්දුවයි. ආණ්ඩුවේ කුළුඳුල්  ඇමති මණ්ඩල රැස්වීමට විසිවෙනි සංශෝධනය ගෙනාපු වෙලාවේ එහි අභ්‍යන්තර සාකච්ඡාවක් නොකර සම්මත කර ගත්තහම අපි මේ පළවෙනි රැස්වීමනෙ ඔන්න ඔහෙ යන්න දෙමු කියලා හිතුවේ නෑ. අපි ඒකට එරෙහිව අරගල කළා. මොකද ජනතාවට දුන්න මැතිවරණ පොරොන්දුව රකින්න.

ඊළඟට සෞභාග්‍යය දැක්මෙ 58 පිටුවේ පැහැදිලිව කියනවා නැගෙනහිර ජැටිය සංවර්ධනය කරන්නේ ආණ්ඩුවයි. බටහිර ජැටිය නම් හවුල් ව්‍යාපාරයක් ලෙස සංවර්ධනය කරනවා කියලා. නමුත් නැගෙනහිර ජැටිය ආණ්ඩුවේ සංවර්ධනය කිරීම වෙනුවට විකල්පයක් තෝර ගත්තම අපිට නැවතත් ආණ්ඩුවට දුන් පොරොන්දු ඉටු කරන්න  කියලා ආණ්ඩුවට බලපෑම් කරන්න සිද්ධ වුණා. මේ දිනවල  New Fortress Energy ගිවිසුම සම්බන්ධයෙන් අපි විරෝධය දක්වන්නේත් අමාත්‍ය මණ්ඩලය තුළ අර විසිවෙනි සංශෝධනය වගේම සංවාදයකින් තොරව අනුමත කර ගත්ත නිසයි. එය රටට අහිතකර නිසයි. ජනතාවට අපි පොරොන්දු වුණ සෞභාග්‍යයේ දැක්මට එය පටහැනි නිසයි . එසේ නම් නම් අපි මේ ඉටු කරමින් ඉන්නේ 2020 ජූලි 18 ජනතාවට ලබා දුන්නු මැතිවරණ පොරොන්දුවයි. ඒ නිසා අපි සෑම මොහොතකම අපි ජනතාවට දුන්නු පොරොන්දු ඉටු කරනවා. මේ ජනතාවට දුන්නු පොරොන්දුව ඉටු කරද්දි මේ ඛනිජ තෙල් සංස්ථාවේ භූමියේ මේක පවත්වන නිසා රාජ්‍ය දේපල අපහරණය කරනවාදෝ කියලා කාටහරි චෝදනාවක් එල්ල කරන්න පුළුවන්. ඒ නිසා අපි කියන්න ඕනේ මේ උත්සවයට යන සියලුම වියදම දරලා තියෙන්නේ මම පෞද්ගලිකව මිසක් සංස්ථාවෙන් කිසිම දෙයක් අරගෙන නෑ. . ඒ විතරක් නෙවෙයි අපි මෙතැනට ආවේ සංස්ථාවට දායාද කරලා යන්න මිසක් සංස්ථාවෙන් කිසිම දෙයක් අරගෙන යන්න නෙමෙයි.

දීර්ඝ කාලයක් මේ මුතුරාජවෙල තෙත්බිම් පරිසරයට අහිමි වෙමින් පවතිනවා කියන සමාජයේ කතිකාවතක් තියෙන අතරේ මුතුරාජවෙල පරිසරය  රැකගැනීමට අපේ මට්ටමින් දායක විය යුතුයි කියලා කල්පනා කළ නිසා තමයි මේ උත්සවය මෙම ස්ථානයේදී පවත්වන්න අපි තීරණය කළේ . අවසාන වශයෙන් පරිසරය පිවිතුරු කරන්න අපිත් සමග පැළ සිටුවන්නටත් ආණ්ඩුව පිවිතුරු කරන්නට  වැරදිදේට වැරදියි කියන්නටත් අපෙත් එක්ක එකතු වෙන්නයි ඔබ සැමට ආරාධනා කරනවා."

එම අවස්ථාව සඳහා ශාස්ත්‍රපති පූජ්‍ය පාහියන්ගල ආනන්ද සාගර හිමියන් ඇතුළු මහා සංඝරත්නය, ජේෂ්ඨ පරිසරවේදී සමන්ත ගුණසේකර මහතා, සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සභාපතිනි නීතිඥ දර්ශනී ලහදපොල මහත්මිය, බලශක්ති අමාත්‍යාංශයේ ලේකම් කේ ඩී ආර් ඔල්ගා මහත්මිය, ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්තයේ සභාපති මොහොමඩ් උවයිස් මහතා, පිවිතුරු හෙළ උරුමය ප්‍රධාන ලේකම් උපුල් විජේසේකර මහතා ඇතුළු පිරිසක් සහභාගි වුණා.

Rate this item
(0 votes)
Last modified on Sunday, 14 November 2021 20:57