May 17, 2024

බැසිල් කැබිනට් පත්‍රිකාව ගෙන ආ හැටි විමල් අකුරක් නෑරම ප්‍රසිද්ධියේ කියයි

කැබිනට් මණ්ඩලයේ සාමාන්‍ය ක්‍රමය කැබිනට් පත්‍රිකා හැදෑරීම සඳහා සාධාරණ කාලයක් ලබාදීම බව විමල් වීරවංශ අමාත්‍යවරයා පෙන්වා දෙනවා.

කැබිනට් ඇමතිවරුන් කැබිනට් පත්‍රිකා අධ්‍යනය කොට ඒ සම්බන්ධයෙන් වූ සිය මතයත් සමග කැබිනට් රැස්වීමට සහභාගිවීමට අවස්ථාව තිබිය යුතු බවයි අමාත්‍යවරයා සඳහන් කරන්නේ.

සාමූහික වගකීමේ පදනම

ඒ මත ගන්නා තීරණයකට කැබිනට් මණ්ඩලයේ සියල්ලන්ම වග කියන බව වීරවංශ මහතා පෙන්වා දෙන්නේ ඇමරිකාවේ නිව් ෆොට්‍රස් සමාගම සමග අත්සන් කළ ගිවිසුමේ ඇති බරපතළකමද පෙන්වා දෙමින්.

එම සමාගමට ගෑස් සැපයීමේ බලය ලැබෙන්නේ වසර 5 ක කාලයක් සදහා බව සඳහන් කිරීම බොරුවක් බව පෙන්වා දෙන අමාත්‍යවරයා අනාගතයේ නොපෙනෙන ඉමක් දක්වාම මේ රටේ ගෑස් සැපයීමේ ඒකාධිකාරිය ඔවුනට ලැබෙන බවද සඳහන් කරනවා.

එසේ සදාකාලිකවම ඇමරිකාවට මෙරට ගෑස් සැපයීමේ ඒකාධිකාරිය ලබා දෙන කැබිනට් පත්‍රිකාව තමන්ට ලැබුණු විදිහද අමාත්‍යවරයා හෙළිදරව් කරනවා.

ඔන්ලයින් ආපු විදිහ

"දැන් අපි ඉන්නවා ඔන්ලයින් එකේ.අපි දන්න සියලු කැබිනට් පත්‍රිකා අනු පිළිවෙලින් කතා කරල ඉවර වෙනවා.වෙනත් කරුණු කියලා එකක් එනවා."

"ඒකෙදි ගරු මුදල් ඇමතිතුමා කැබිනට් ලේකම්ගෙන් අහනවා.මම ඔය එකක් ගෙනාවා ඒක නැද්ද කියලා.කැබිනට් ලේකම් කියනවා ගරු ඇමතිතුමා ඒක ආවේ මම මෙතැන වාඩි උනාට පස්සේ.ඒක කියව ගන්නවත් බැරි වුනා කියලා.ඔබතුමා පැහැදිලි කරන්න කියලා."

කැබිනට් සම්ප්‍රදාය

සාමාන්‍යයෙන් කැබිනට් මණ්ඩලයට කැබිනට් පත්‍රිකාවක් පැහැදිලි කරන්නේ කැබිනට් ලේකම්වරයා බවයි අමාත්‍යවරයා සඳහන් කරන්නේ.

"කැබිනට් ලේකම් කියනවා ඕක ආවේ මම මෙතන වාඩි වුනාට පස්සේ ඒ නිසා මම ඕක ගැන දන්නේ නැහැ ඔබතුමාව කියවන්න කියලා."

තමා මහ කලක් කැබිනට් මණ්ඩලය තුළ සිට නැති මුත් ඒ සිටි කාලය තුළ එවැනි සිදුවීමකට මුහුණ දී නැති බව වීරවංශ මහතා අවධාරණය කරනවා.

එක එක හුට පට

"දැන් ඔන්ලයින් හින්දා මේකෙ එක එක හුට පට වෙනවා.ඒක ඔය විදියට ඉවර වුනා.ඊට පස්සේ දවසක ගම්මන්පිල මහතා හා අපි කිහිප දෙනෙක් එකතු වෙලා ඒ මොකද්ද එදා ගෙනාවේ කියලා හිත හිත ඉන්නකොට කැබිනට් තීන්දුවක් ඇවිත් තිබෙනවා අසවල් කැබිනට් පත්‍රිකාව ගැන මුදල් ඇමතිවරයා දීර්ඝ ලෙස කැබිනට් මණ්ඩලයට කරුණු පැහැදිලි කිරීමෙන් පසු මේ මේ තීරණ වලට එකඟ වුණා කියලා."

තමා එවිට කල්පනා කළේ මේ හීනයක්ද කියා බව සඳහන් කරන අමාත්‍යවරයා මෙම කැබිනට් පත්‍රිකා පිළිබඳ කිසිදු සාකච්ඡාවක් සිදු නොවූ බවත් එය හොරට ගෙන ආ එකක් බවත් පෙන්වා දෙනවා.

විමල් වීරවංශ අමාත්‍යවරයා මේ අදහස් පළ කළේ එල්.එන්.ජී බලාගාර පද්ධතිය ඇමරිකාවට පැවරීම මැයෙන් වූ සම්මන්ත්‍රණය අමතමින්. 

Rate this item
(1 Vote)
Last modified on Sunday, 31 October 2021 15:10