May 17, 2024

ජනපති සමග සාකච්ඡා අසාර්ථකයි : අද වැඩේ හවසට කෙරෙනවා - විමල් පිල

ආණ්ඩුවේම සන්ධානගත පක්ෂ 11 ක සහභාගීත්වයෙන් අද (29) පස්වරුවේ පැවැත්වීමට නියමිත "මහජන සභාව" රැස්වීම සැලසුම් කළ ආකාරයටම පවත්වන බව ඊට සහභාගි වීමට නියමිත පක්ෂ නායකයෙකු ඒෂියන් මිරර් වෙත සඳහන් කළා.

මෙම මහජන සභාව රැස්වීම පැවැත්වීමට නියමිතව තිබෙන්නේ යුගදනවි බලාගාරයේ කොටස් වලින් 40% ක් ඇමරිකාවේ නිව් ෆොට්‍රස් සමාගමක දීමට එරෙහිව මහජනතාව දැනුවත් කිරීම සඳහායි.

අනන්‍යතාවය තහවුරු නොකිරීම

නම එළි නොකිරීමේ එකඟතාවය මත සිය අදහස් දැක්වූ ඔහු ඊයේ (28) ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් මේ සම්බන්ධයෙන් පැවැති සාකච්ඡාව විසඳුමකින් තොරව අවසන් වූ නිසා කලින් යොදාගත් "මහජන සභාව" නියමිත පරිදි පවත්වන බව වැඩි දුරටත් සඳහන් කරනවා.

මේ සම්බන්ධයෙන් ඊයේ (28) අරලියගහ මන්දිරයේ පැවති සාකච්ඡාව උණුසුම් මුහුණුවරක් ගත් බව ඔහු සඳහන් කරනවා.

විශේෂයෙන්ම එහිදී විමල් වීරවංශ අමාත්‍යවරයා තමන් මෙම ගිවිසුම දැකවත් නැති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ වෙනුවෙන් සහභාගිවූ අගමැති , මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ මහතා ප්‍රමුඛ කණ්ඩායම වෙත පෙන්වා දුන් බව ඔහු සඳහන් කරනවා.

විමල් වීරවංශ අමාත්‍යවරයාට අමතරව උදය ගම්මන්පිල , වාසුදේව නානයක්කාර යන අමාත්‍යවරුන් හා පූජ්‍ය අතුරලියේ රතන හිමියන්ද දිගටම ප්‍රශ්න කළ බවයි ඔහු අවධාරණය කරන්නේ.

මුදල් ඇමතිගේ පැහැදිලි කිරීම

ඒ ගැන බැසිල් රාජපක්ෂ අමාත්‍යවරයා යම් පැහැදිලි කිරීම් කළ බවත් එහෙත් සාකච්ඡාව කිසිදු එකඟතාවයකින් තොරව අවසන් වූ බව ඔහු අනාවරණය කරනවා.

ඇතුළේ ප්‍රශ්න ඇතුලෙම විසඳා ගන්නා ලෙසත් , ප්‍රශ්න එළියට අරගෙන නොඑන ලෙස තම කණ්ඩායමෙන් ජනපතිවරයා ඉල්ලා සිටි බවත් සදහන් කරන කරන ඔහු මේ සම්බන්ධයෙන් යෝජනා ඇත්නම් ඒවා මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ මහතා වෙත ලිඛිතව යොමු කරණ ලෙස තම පාර්ශවයට දැනුම් දුන් බවත් ඔහු පෙන්වා දෙනවා.

Rate this item
(0 votes)
Last modified on Friday, 29 October 2021 12:34