May 17, 2024

ඔක්තෝම්බර් 29 කැරැල්ලක ආරම්භයද? විමල් පිල මහජන සභාවක් කැඳවයි

කෙරවලපිටිය යුගදනවි බලාගාරය සම්බන්ධයෙන් සාකච්ඡාවක් ජනපතිවරයා තම කණ්ඩායමට ලබා නොදෙන්නේ නම් ප්‍රශ්නය ජනතාව අතරට ගෙන යෑමට සිදුවන බව වාසුදේව නානායක්කාර අමාත්‍යවරයා මීට ටික දිනකට පෙර අනතුරු ඇඟවූවා.

අමාත්‍යවරයාගේ එම අනතුරු ඇඟවීම යථාර්තයක් බවට පත් කරමින් එළැඹෙන සිකුරාදා (29) ප්‍රසිද්ධ රැස්වීමක් කොළඹදී පැවැත්වීමට කණ්ඩායම තීරණය කර තිබෙනවා.

කොළඹට එන මහජන සභාව

එදිනට යුගදනවි බලාගාරයේ කොටස් 40% ක් ඉන්දියාවට පැවරීමට එරෙහිව මහජන සභාව නමින් රැස්වීමක් පැවැත්වීමට ආණ්ඩුවේ සන්ධානගත පක්ෂ 11ක නායකයින් තීරණය කොට තිබෙනවා.

මෙම තීරණය ගෙන තිබෙන්නේ ආණ්ඩු පක්ෂ ජාතික ලැයිස්තු මන්ත්‍රී ටිරාන් අලස් මහතාගේ කාර්යාලයේ පැවති සාකච්ඡාවකින් අනතුරුවයි.

එම සාකච්ඡාවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නියෝජනය කරන දයාසිරි ජයසේකර මහතා හැර අන් පක්ෂ 10 සාමාජිකයින් සම්බන්ධ වූ බවයි දැනගන්නට තිබෙන්නේ.

ජනපතිගෙන් කළ ඉල්ලීම

එම සාකච්ඡාවට ශ්‍රී.ල.නි.පය නියෝජනය කරමින් එහි මහ ලේකම් දයාසිරි ජයසේකර මහතා සම්බන්ධ වී තිබෙන්නේ සූම් තාක්ෂණය ඔස්සේ.

කෙරවලපිටිය යුගදනවි බලාගාරයේ කොටස් 40%ඇමරිකාවේ නිව් ෆොට්‍ස් සමාගමට ලබාදීම සම්බන්ධයෙන් එම කණ්ඩායම විරෝධය දක්වන අතර මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ජනපතිවරයාගෙන් ලිඛිතවම ඉල්ලීමක් කර තිබුණා.

එහෙත් ජනපතිවරයා ඒ සඳහා දිනයක් ලබා දුන්නේ නැහැ.

ජනපතිගේ ප්‍රතිචාරය

ඊට ප්‍රතිචාර දක්වමින් ජනපතිවරයා සඳහන් කර තිබුණේ ඒ සම්බන්ධයෙන් තමන් සමග සාකච්ඡා කිරීමේ අවශ්‍යතාවයක් නැති බවත් ඒ සම්බන්ධයෙන් අග්‍රාමාත්‍යවරයා සහ මුදල් අමාත්‍යවරයා වන බැසිල් රාජපක්ෂ මහතා සමඟ සාකච්ඡා කරන ලෙසටයි.

යුගදනවි විදුලි බලාගාර ප්‍රශ්නය ගැන සාකච්ඡා කිරීමට ජනපතිවරයා තමන්ට සාකච්ඡාවක් ලබා නොදෙන්නේ නම් එම ප්‍රශ්නය ජනතාව අතරට ගෙන යා යුතු බවට ජනපතිට ප්‍රතිචාර දක්වමින් වාසුදේව නානයක්කාර අමාත්‍යවරයා ප්‍රසිද්ධියේම ප්‍රකාශ කර සිටියා.

Rate this item
(0 votes)
Last modified on Monday, 25 October 2021 13:51