May 20, 2024

"මම උපන්ගෙයි ශ්‍රී ලංකාකාරයා" කියමින් කුමාර වෙල්ගමත් වෙනම ගමනක Featured

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා සමාන නව පක්ෂයක් ගොඩනගන බවට සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා ඊයේ (29) කර තිබෙන ප්‍රකාශයට මේ වන විට දේශපාලන ක්ෂේත්‍රයේ විශේෂ අවධානය යොමු වී තිබෙනවා.

මේ වන විට එංගලන්තය බලා ගොස් සිටින හිටපු ජනපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියගේ 76 වන උපන් දිනය නිමිත්තෙන් ළමා නිවාසයකට දානය ලබා දීමෙන් අනතුරුව කරණ ලද මෙම හෙලිදරව්ව සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු දැනගැනීම පිණිස ඒෂියන් මිරර් වෙල්ගම මන්ත්‍රීවරයාගෙන් කරුණු විමසුවා.

මම උපන්ගෙයි ශ්‍රීලංකාකාරයා

එහිදී වෙල්ගම මන්ත්‍රීවරයා සඳහන් කළේ තමන් සමගි ජන බලවේගයෙන් මහ මැතිවරණයට ඉදිරිපත් වුවත් උපන් ගෙයි ශ්‍රී ලංකාකාරයකු බවයි.

බණ්ඩාරනායක ප්‍රතිපත්තිය ඉදිරියට ගෙන යෑමේ අරමුණින් මෙම නව පක්ෂය බිහි කරන බව සඳහන් කරන වෙල්ගම මන්ත්‍රීවරයා පවතින සංචරණ සීමා ඉවත් කිරීමෙන් පසු එහි කටයුතු දිය කරන බවයි පෙන්වා දෙන්නේ.

එකතු වෙන අය බලාගන්න පුළුවන්

ඒ සම්බන්ධයෙන් වූ සාකච්ඡා මේ වන විට ඉතා සාර්ථකව කෙරෙමින් පවතින බව පෙන්වා දෙන මන්ත්‍රීවරයා සිය නව පක්ෂය වටා ඒකරාශි වන්නන් පිළිබඳ ඉඟියක් පළ කරමින් සඳහන් කළේ පොහොට්ටුව හා අත පැත්තේ සිටින සැබෑ බණ්ඩාරනායක වාදීන් කවුරුන්ද යන්න සිය පක්ෂයේ පිහිටු වූ විට දැක බලා ගැනීමට හැකිවන බවයි.

දැනට එම පක්ෂයේ නායකයා තමන් බවට මන්ත්‍රීවරයා ප්‍රකාශ කර තිබෙන අතර එමගින් ඉදිරියේදී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය එම පක්ෂයේ නායකත්වය ගන්නා බව හැඟවෙනවා නොවේදැයි යන්න කළ විමසුමට පිළිතුරු දෙමින් සඳහන් කළේ ඊට පිළිතුරු සැපයීමට තව කල් තිබෙන බවයි.

රනිල්ට කළ යෝජනාව

ඉකුත් ජුනි 23 වැනිදා එක්සත් ජාතික පක්ෂ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයේ රනිල් වික්‍රමසිංහ මහතා දිවුරුම් දීමෙන් අනතුරුව සිය අසුනේ අසුන් ගැනීමෙන් පසු ඔහුට පළමුවෙන්ම සුබපැතුවේ කුමාර වෙල්ගම මන්ත්‍රීවරයාය.

එහිදී ඔහු වික්‍රමසිංහ මහතා අමතා "ඔබ පාර්ලිමේන්තු ආපු එක හොඳයි.අපි ඉදිරියේදී එකතුවෙලා අලුත් වැඩක් කරමු" යයි කළ යෝජනාව බොහෝ දේශපාලන පක්ෂ වල අවධානයට ලක් වුණා.

විශ්වාසභංගය මග හැරීම

කුමාර වෙල්ගම මහතා සමගි ජන බලවේගය ජ්‍යෙෂ්ඨ උප සභාපති ධුරයක්ද උසුලන අතර බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතාට එරෙහිව ජනබලවේගය අත්සන් තැබූ විශ්වාසභංග යෝජනාවට අත්සන් තැබීමෙන් වැළකුණු බවත් වාර්තා වනවා.

Rate this item
(1 Vote)
Last modified on Friday, 02 July 2021 08:29