May 20, 2024

චන්ද්‍රිකාගේ ආශිර්වාදයෙන් වෙල්ගම අලුත් පක්ෂය අරඹයි

පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතාගේ නායකත්වයෙන් යුතුව නව දේශපාලන පක්ෂයක් අද පිටකෝට්ටේදි ආරම්භ විය.

පිරිසිදු බණ්ඩාරණායක ප්‍රතිපත්තිය අනුව ක්‍රියාත්මක වීමට අදහස් කෙරෙන මෙම නව පක්ෂය නව ලංකා නිදහස් පක්ෂය ලෙස නම් කර ඇත.

එහිදී අදහස් දක්වමින් එම  පක්ෂයේ නායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා පැවසූවේ මේ වන විට විකුණා දමා ඇති ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කෙදිනක හෝ ගොඩ ගැනීම සඳහා සියලු දෙනාම එකතු වී ඇති බවයි.

බණ්ඩාරනායක මහතා විසින් නිර්මාණය කළ පක්ෂය කුමාරතුංග මැතිණිය විසින් රැක දුන් බවත් , 2015 තෙක් පක්ෂය සුරැකුණත් අද වන විට එය වෙනස් වී ගොස් ඇති බවත් පෙන්වා දුන් වෙල්ගම මහතා මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් 2015 දී වෙන්ව ගියේ පක්ෂය පවා දුන් නිසා එයට විරෝධය දැක්වීමට යැයි ද කියා සිටියේය.

චන්ද්‍රිකා මැතිණියගේ ආශිර්වාද මැද අද දිනයේ මෙම නව පක්ෂය පිහිටවනු ලැබු බවත් මැතිවරණයේ දී සියලු දෙනාම එකතු විය යුතු බවත් ඒ තුළින් ආණ්ඩුව හෙල්ලීමට අවස්ථාව හිමිවෙන බවත් ඔහු සඳහන් කළේය.  

ආණ්ඩුව බොහෝ සෙයින් බලවත් යැයි පැවසුවත් පාර්ලිමේන්තුවේ දී එම මතය වෙනස් කළ බවත් ඉදිරියේ දී ආණ්ඩුව දණගැස්වීමට “මහසෝනා“ සමඟ එකතු විය යුතු බවත් වෙල්ගම මහතා පැවසීය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනම මැතිවරණයේ දී ඉදිරිපත් වුවහොත් ඡන්ද යම් ප්‍රමාණයක් හිමි වෙනු ඇතැයි ද පැවසු වෙල්ගම මහතා, ශ්‍රීලනිපයේ බොහෝ දෙනෙක් පොහොට්ටුවට ඡන්දය ලබා නොදෙන බවත් කියා සිටියේය.

ආණ්ඩුවට රිදවීමට අවශ්‍ය නම් සියලු දෙනා එක්විය යුතු බවත් වෙල්ගම මහතා මෙහිදී වැඩිදුරටත් පැවසීය.

එහිදි  නව ලංකා නිදහස් පක්ෂයේ ප්‍රතිපත්ති ප්‍රකාශය එහි ලේකම් තිලක් වරාගොඩ මහතා විසින් පක්ෂ නායක කුමාර වෙල්ගම මහතාවෙත පිළිගන්වනු ලැබීය.

 

Rate this item
(0 votes)