May 17, 2024

කඳුළු ගෑස් ප්‍රහාරයෙන් සරසවි සිසුන් 4ක් රෝහලේ

September 01, 2016

ඊයේ (31) අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය සහ තවත් ශිෂ්‍ය සංගම් කිහිපයක් එක්ව කොළඹදී පැවැත්වූ විරෝධතා පා ගමනට පොලීසිය විසින් එල්ල කළ ජල සහ කඳුළු ගෑස් ප්‍රහාරවලින් තුවාල ලැබූ සිසුන් 04 දෙනෙකු කොළඹ ජාතික රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබයි.

ඔවුන් ඊයේ දහවල් මෙම පා ගමන ආරම්භ කළේ මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය අහෝසි කරන ලෙස රජයට බල කරමිනි.

අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු ළහිරු වීරසේකර මහතා ප්‍රකාශ කළේ නේවාසිකව ප්‍රතිකාර ලබන එක් සිසුවෙකුට ඊයේ රාත්‍රියේ ශල්‍යකර්මයක් සිදුකර ඇති බවයි.

ඊයේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය අසලින් ගමන් ආරම්භ කළ මෙම විරෝධතා පා ගමන හයිලෙවල් මාර්ගය ඔස්සේ කොළඹ දෙසට පැමිණෙන අතරතුරදී එම මාර්ගයේ දැඩි රථවාහන තදබදයක්ද හටගත්තේය.

පා ගමන අතරතුර මිරිහාන පොලිසියේ නිලධාරීන් කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් ලබාගත් නියෝගයක් සිසුන්ට ලබාදීමට කටයුතු කළත් ඔවුන් එය භාර නොගෙන හයිලෙවල් මාර්ගය ඔස්සේ පැමිණි තුන්මුල්ල මංසන්ධිය පසුකරමින් ගාලූ පාරට පිවිස බම්බලපිටිය හරහා කොල්ලුපිටිය දෙසට ගමන් කළේය.

පොලීසිය ජල සහ කදුළු ගෑස් ප්‍රහාර එල්ල කළේ සිසුන් කොල්ලුපිටිය මංසන්ධියෙන් අරලියගහ මන්දිරය දෙසට පිවිසීමට උත්සහ කිරීමත් සමඟයි.

Rate this item
(0 votes)
Last modified on Thursday, 01 September 2016 10:48