May 14, 2024

පිට පළාත්වලින් විභාගයට ලියූ සිසුන්ට වැඩ වරදී

තමා අයත් පළාතෙන් පිට පළාත්වලට ගොස් අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයට පෙනී සිටි සිසුන් පිළිබඳව ගනු ලබන ඉදිරි ක්‍රියාමාර්ග තීරණය කිරීම සඳහා විශේෂ සාකච්ඡාවක් අද (30) පැවැත්වීමට නියමිතය.

ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ සහ විශ්වවිද්‍යාල කොමිසන් සභාවේ සහභාගීත්වයෙන් මෙම සාකච්ඡාව අධ්‍යාපන අමාත්‍යංශයේදී පැවැත්වේ.

මෙවර උසස් පෙළ විභාගයේ දී මධ්‍යම පළාතේ සහ වයඹ පළාතේ පාසල්වලින් වෙනත් ප්‍රදේශවල සිසුන් විභාගයට පෙනී සිටීමේ සිද්ධියක් වාර්තා විය.

එම සිද්ධිය පිළිබඳව විභාග දෙපාර්තමේන්තුව විසින් විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇති අතර ඊට සම්බන්ධ විදුහල්පතිවරුන් 02කගේ වැඩ තහනම් කර තිබේ.

මීට අමතරව පිට පළාත්වල සිසුන්ට අවස්ථාව ලබාදීමේ දී මුදල් අය කර ගැනීමක් හෝ අල්ලස් ලබා ගැනීමක් සිදුකර තිබේ ද යන්න පිළිබඳව විමර්ශනය කිරීම සඳහා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට යොමු කිරීමට පියවර ගෙන ඇති බව අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කරයි.

මේ අතර පසුගිය වසර වලට සාපේක්ෂව මේ වසරේ විභාග අක්‍රමිකතාවන්ගේ අඩුවීමක් දක්නට ලැබෙන බව අධ්‍යාපන අමාත්‍යංශය ප්‍රකාශ කරයි.

ඔවුන් කියාසිටින්නේ 2016 වසරේ අපොස උසස් පෙළ සහ පහ වසර ශිෂ්‍යත්ව විභාගය සම්බන්ධයෙන් පසුගිය වසරවලට සාපේක්ෂව වාර්තා වු පැමිණිලි සංඛ්‍යාවේ පැහැදිලි අඩුවීමක් දක්නට ලැබෙන බවයි.

2014 වසරේ දී උසස් පෙළ සම්බන්ධයෙන් පැමිණිලි 402ක් සහ 2015 වසරේදී පැමිණිලි 152ක් ලැබී තිබුණු අතර මේ වසරේ දී වාර්තා වී ඇත්තේ පැමිණිලි 48ක් පමණක් බව අධ්‍යාපන අමාත්‍යංශය පෙන්වා දෙයි.

2014 වසරේ දී ශිෂයත්ව විභාගය සම්බන්ධයෙන් පැමිණිලි 38ක් ද 2015 වසරේ පැමිණිලි 22ක් ද ලැබී ඇති අතර මේ වසරේ දී ශිෂ්‍යත්ව විභාගය සම්බන්ධයෙන් වාර්තා වී ඇත්තේ පැමිණිලි 15ක් පමණි.

Rate this item
(0 votes)
Last modified on Tuesday, 30 August 2016 09:40