May 01, 2024

අගමැතිගේ විශේෂ ප්‍රකාශය (AUDIO)

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (13) දින බදුල්ලේ සිට විශේෂ ප්‍රකාශයක් කළේ ය.

(අග්‍රාමාත්‍යවරයාගේ විශේෂ ප්‍රකාශය ශ්‍රවණය කිරීමට මෙතන ක්ලික් කරන්න)

කිසිදු ආගමකට, ජාතියකට අපහාස නොකළ යුතු බවත්, එවැනි ක්‍රියාවලින් වැළකිය යුතු බවත්, අග්‍රාමාත්‍යවරයා එහි දී පැවසූ අතර එම ක්‍රියාවලියේදී මාධ්‍ය සතුව වැඩි වගකීමක් ඇති බව කියා සිටියේය.

මෛත්‍රිපාල සිරිසේන ජනපතිගේ යහපාලනය යටතේ මෙරට ආර්ථික සංවර්ධනය නව මාවතකට ගෙන යමින් සිටින බවත්, ඒ අනූව ආයෝජකයින් නව ව්‍යාපාර ආරම්භ කරමින් සිටින බවත්, අග්‍රාමාත්‍යවරයා පැවසීය.

හම්බන්තොට නව කර්මාන්ත ශාලා දැන් ආරම්භ වෙමින් ඇති බවත්, එහි වාසිය මොණරාගලට ද ලැබෙන බවත්, එ‍සේම බදුල්ලේ ජනතාවට තොරතුරු තාක්ෂණයෙන් ප්‍රයෝජන ගත හැකි පරිසරයක් උදාකරන බවත්, ඔහු එහි දී කියා සිටියේය.

ජනතාවට දුන් පොරොන්දු ඉටු කිරීමට රජය බැඳී සිටින බවත්, ජනතාව ජාතික ආණ්ඩුවක් ඉල්ලා සිටි බවත්, ඔවුන් බලාපොරොත්තු වුයේ පෙර පැවැති ආණ්ඩුව මෙන් නොව අලුතෙන් සිතන ආණ්ඩුවක් බවත්, අග්‍රාමාත්‍යවරයා පැවසීය.

ඒ අනූව සිය යුතුකම ජනතාව සමග පළමුව වැඩ කිරීම බවද, ප්‍රජාතන්ත්‍රවාදය, දූෂණය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව ජාත්‍යන්තරය හමුවේ ලබා තිබූ අප්‍රසාදයෙන් ගොඩ ඒමට ජාතික ආණ්ඩුවක් පිහිටුවාගත් බවද හෙතෙම කීවේය.

විශේෂයෙන්  සියලු ජාතීන් අතර සාමකාමි පාලනයක් ගොඩනැඟීමේ අරමුණෙන් ජාතික ගීය දෙමළ භාෂාවෙන් ගායනා කිරීමට අවස්ථාව ලබාදීම වැදගත් පියවරක් බවත්, එසේම මෙරට කාන්තාවන්ට දේශපාලනය කිරීමට ඉඩදෙන වැදගත් පියවරක් ගත් බවත්, ඔහු පැවසීය.

ඒ අනූව පළාත් පාලන ආයතනයක කාන්තා නියෝජනය සියයට 25ක් විය යුතු බවටත්, පිරිමි නියෝජනය උපරිම සියයට 75ක් විය  යුතු බවටත්, වන නිර්දේශ පළමුව ඇති කළ බවද හෙතෙම කීවේය.

එමඟින් කාන්තාවන්ට පාර්ලිමේන්තුවට පිවිසීමේ අවස්ථාව වැඩි කිරීමට ඉඩ ලැබෙන පරිදි මේ සම්බන්ධ යෝජනාව  පසුගිය අඟහරුවාදා ගෙනආ අවස්ථාවේදී රාජපක්ෂ කල්ලිය පාර්ලිමේන්තු සභා ගර්භය මැදට පැමිණ ඊට බාධා කළ බවද අගමැතිවරයා පෙන්වාදුන්නේය.

ඉන් පෙනී ගියේ රාජපක්ෂ කල්ලියට මේ රටේ කාන්තාවන් ගැන සැබෑ කැක්කුමක් නැති බව බව යැයිද, ඔවුන් ගෙදර බුදුන් අම්මා යැයි කියමින් නිවසේ බුදුපිළිමය බිමට ගසා දැමීමක් හා සමාන ක්‍රියාවක් බවද, හෙතෙම පැවසීය.

ඒ අනූව රාජපක්ෂ කල්ලියට කාන්තාවන්ගේ අයිතිවාසිකම් ගැන කිසිදු කැක්කුමක්, කැපවීමක් නැති බවද,  එම කල්ලිය කාන්තාවන්ට විරුද්ධ තමන්ගේ පුද්ගලික නියෝජනය ගැන පමණක් සිතීම නිසා යැයිද අග්‍රාමාත්‍යවරයා එහිදී කියා සිටියේය

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද දින (13) සිදු කළ විශේෂ ප්‍රකාශය පහත වීඩියෝවෙන් ශ්‍රවණය කරන්න.

Rate this item
(1 Vote)
Last modified on Sunday, 14 February 2016 11:17