May 18, 2024

ඉන්දියාවේ භූ කම්පනයක් (VIDEO)

ඊසානදිග ඉන්දියාවේ මනිපූර් ප්‍රාන්තයේ ඉම්පාල් නගරයේ  දී අද (04) අලුයම රික්ටර් මාපකයේ 6.8ක භූ කම්පනයක් ද ඉන් අනතුරුව පසු කම්පන කිහිපයක් ද සිදුවී තිබේ.

මෙම භූ කම්පනය බංග්ලාදේශයට ද දැනී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. භූ කම්පනය පිළිබදව දැනගත් ඩකා නුවර වැසියන් වාසස්ථානවලින් ඉවතට ගොස් ඇත. 

කම්පනයේ කේන්ද්‍රය සටහන්ව ඇත්තේ මනිපූර් ප්‍රාන්තයේ ප්‍රධාන නගරය වන ඉම්පාල් නුවරට කිලෝමීටර 33ක් වයඹ දෙසින් වන අතර කිලෝමීටර 55ක් පමණ ගැඹුරින් කම්පනය හටගෙන ඇත.

ඉන්දියාවේ ඇසෑම්, බෙන්ගාල්,අරුනාචල්, බිහාර් සහ ජාර්කාන්ද් ප්‍රාන්තවලට ද කම්පනයේ ප්‍රබලත්වය බලපා තිබේ. 

සිදුවූ කම්පනයෙන් ඉම්පාල් නුවර වැසියෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර 20කට අධික පිරිසක් තුවාල ලබා තිබේ. 

එම කලාපය ආශ්‍රිතව මිලියන 98කට ආසන්න ජන කොටසක් වාසය කරයි. ඉන් මිලියන 2කට අධික ජනතාවට කම්පනය ප්‍රබලව දැනෙන්නට ඇති බව අමෙරිකානු භූ විද්‍යා සමීක්ෂණ ඒකකය සඳහන් කරයි.

ඉන්දීය රජයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු විදෙස් මාධ්‍ය වෙත සදහන් කර ඇත්තේ ඇතැම්විට මෙම භූකම්පනය හේතුවෙන් අනතුරට පත්වූවන් සිටිය හැකි අතර ඔවුන් සෙවීමේ මෙහෙයුම් ක්‍රියාත්මක කර ඇති බවයි.

Rate this item
(0 votes)
Last modified on Monday, 04 January 2016 09:41