May 21, 2024

මත්තලට දැඩි හානි - වී ඉවත් කරන්න නිමල්ගෙන් නියෝග

මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපළේ වී ගබඩා කිරීම හේතුවෙන් බෝවී ඇති කෘමි සතුන්ගෙන් හා පරවියන් ඇතුළු කුරුල්ලන්ගෙන් ගබඩාවට විශාල හානියක් සිදුව ඇති බව ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා ප්‍රකාශ කොට තිබේ.

මේ නිසා සිදු වී ඇති අලාභය පිළිබඳ ගණනය කර වහාම එය වී අලෙවි මණ්‌ඩලයෙන් අයකර ගැනීමට කටයුතු කරන ලෙසයි අමාත්‍යවරයා නිලධාරීන්ට නියෝග කර ඇත්තේ.

නිමල් සිරිපාල ද සිල්වා මහතා ඊයේ (18) මත්තල ගුවන්තොටුපළෙහි මෙහෙයුම් කටයුතු පිළිබඳව සොයා බැලීම සඳහා සංචාරයක නිරත වූ අතර එහි දී වී ගබඩා කර තිබූ ප්‍රදේශ අමාත්‍යවරයාගේ නිරීක්‍ෂණයට ලක්‌වීමෙන් පසු ගුවන්තොටුපළේ අධිතාක්‍ෂණික උපකරණවලින් යුක්‌තව ඉදිකර ඇති ගබඩාවට කෘමි සතුන්ගෙන් හා පරවියන්ගෙන් දැඩි ලෙස හානි සිදුව ඇති බව අමාත්‍යවරයාට දැකගත හැකි විය.

ගබඩා කර ඇති වී තොග වහාම ඉවත් කළ යුතු බවත් වී තොග ඉවත් කර ගැනීමට සාධාරණ කාලයක්‌ වී අලෙවි මණ්‌ඩලයට ලබාදෙන ලෙසත් අමාත්‍යවරයා නිලධාරීන්ට උපදෙස්‌ දී තිබෙන අතර වී ගබඩා කර තිබූ කාලය සඳහා ගාස්‌තුවක්‌ අයකර ගැනීමට කටයුතු කරන ලෙස ද උපදෙස්‌ දී ඇත.

ගබඩාවට සිදුවී ඇති හානිය පිළිබඳ අමාත්‍ය මණ්‌ඩලය දැනුවත් කරන බවටත් මේ පිළිබඳව කැබිනට්‌ පත්‍රිකාවක්‌ සකස්‌ කිරීමට කටයුතු කරන බවටත් ඇමැතිවරයා එහිදී ප්‍රකාශ කර තිබේ.

මත්තල ගුවන්තොටුපළ ඉකුත් රජය ඉදිකළේ ජාතික අවශ්‍යතාව මත බව පවසා ඇති අමාත්‍යවරයා ගුවන්තොටුපළ වෙත ගුවන් යානා ගෙන්වා ගැනීමට ප්‍රවර්ධන වැඩසටහන් සකස්‌ කරන ලෙස ද එහිදී උපදෙස්‌ දී ඇත.

Rate this item
(0 votes)
Last modified on Tuesday, 20 October 2015 01:11