May 02, 2024

විග්නේශ්වරන් ජාතිවාදියෙක් නොවේ - මහින්ද කියයි

උතුරු පළාතේ මහ ඇමති සීවී විග්නේශ්වරන් ජාතිවාදියකු යැයි තමා විශ්වාස නොකරන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසයි.

තමා දන්නා මහ ඇමතිවරයා ජාතිවාදියෙකු නොවන බවත් ඔහුගේ දේශපාලනය අනුව ඔහුට ප්‍රතිඵල පෙන්විය නොහැකි බවත් හෙතෙම සඳහන් කළේය.

දෙමළ ජනමාධ්‍යවේදීන් හා පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් හිටපු ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ "මම දන්න මහ ඇමතිතුමා නම් ජාතිවාදියෙක් කියලා මම හිතන්නේ නැහැ. ඔහු කරන්නේ දේශපාලනය. ඔහුට ප්‍රතිඵල පෙන්වන්න බැහැ. මේ ආණ්ඩුවටත් ප්‍රතිඵල පෙන්වන්න බැහැ. ළමයින්ට රස්සාවක් දීලා තියෙනවද? ඒවාට උත්තර නැහැ. ඉතින් මිනිසුන්ට ප්‍රශ්න අමතක කරවන්න 'ජාතිවාදය' හරි මොනවහරි අටව ගෙන."

දෙමළ දේශපාලන සිරකරුවන් නිදහස් කිරීමට තමා විරුද්ධ නැති බවත් තමන් විරුද්ධ දේශපාලනික වශයෙන් රජය අධිකරණයට ඇඟිලි ගසා ඔවුන් නිදහස් කිරීම පිළිබඳව පමණක් බවත් මහින්ද රාජපක්ෂ මහතා පැවසී ය.

"අපිට මෙයාල නිදහස් කරත් එකයි. නාමල් හිරේ ගිහිල්ලා ඇවිල්ලා එයාලත් එක්ක ඉඳල මට කිව්වා ඇයි මේ කට්ටියට නිදහස ලැබෙන්නේ නැත්තේ කියලා. එයාටත් මම කිව්වේ ප්‍රශ්නේ තියෙන්නේ මේ අධිකරණයක් ඉස්සරහ මේ නඩු තියෙන එක කියලා" ඔහු පැවසීය.

"ඒවා ඉතින් නීතිපති දෙපාර්තමේන්තුවට පුළුවන් ඕන නම් ඉල්ලා අස් කර ගන්න. එහෙම නැත්නම් ඒවා ඉක්මන් කරන්න ඒ කට්ටියට පුළුවන්."

තමන් බලයේ සිටියදී දෙමළ සිරකරුවන් පුනරුත්තාපනය කර නිදහස් කිරීමට උත්සාහ කළ අවස්ථාවේ ඔවුන් උසාවියට ඉදිරිපත් කරන ලෙස ඔවුන්ගේ නීතිවේදීන් ඉල්ලීම් කළ බවත් හිටපු ජනාධිපතිවරයා දෙමළ මාධ්‍යවේදීන් අමතමින් පැවසීය.

ඒ අනුව ඔවුන් උසාවියට ඉදිරිපත් කළ බවත් එසේ නොකලේ නම් එම සිරකරුවන්ද මේ වන විට නිදහස්ව සිටීමට ඉඩ තිබුණු බවත් හිටපු ජනාධිපතිවරයා සඳහන් කළේය.

'උසාවියේ චෝදනා තියනවනේ. ඒක ඉවර වෙනකම් අපට කතා කරන්න බැහැ. නැත්නම් එයාලට ඒ කාලේම යන්න තිබුණා. මොකද ඊට වඩා චෝදනා තිබුණු අය පුනරුත්තාපනය කරලා එළියට ගිහිල්ලා තියෙනවනෙ'

තමන්ට බලය අහිමි වූවාට පසු උතුරේ සංවර්ධනය සම්පුර්ණයෙන් ඇණහිට තිබෙන බවත් උතුරේ ජනතාවගේ ගැටළු විසඳීමටද ආණ්ඩුව අපොහොසත් වී ඇති බවත් මහින්ද රාජපක්ෂ මන්ත්‍රීවරයා  අවධාරණය කළේය.

"අපි විතර කවුරුවත් ඒ මිනිස්සු ගැන බැලුවේ නැහැ. මේ ආණ්ඩුව මොකක්ද කරලා තියෙන්නේ," ඔහු ප්‍රශ්න කරයි.

'ආණ්ඩුව හමුදාව ඉවත් කරනවා කියනවා. මම දන්නේ නැහැ කොච්චර ඉවත් කරලද කියලා. හැබැයි මට කියන්න එක දෙමළ අනාථ කඳවුරක් වහල තියෙනවද කියලා. නැහැ! ඒකෙන් පේන්නේ ආණ්ඩුව දෙමළ ජනතාව ගැන හිතන්නේ නැහැ, දේශපාලනය ගැන විතරයි හිතන්නේ.'

වර්තමානයේ උතුරේ පවතින ආන්දෝලනාත්මක තත්වය සලකා බැලීමේදී උතුරේ පළාත් සභා මැතිවරණය පැවැත්වීමට ගත් තීරණය නිවැරදි දැයි කළ විමසීමකට පිළිතුරු දුන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ එය 'නිවැරදි තීරණයක් යැයි තමන් දැනටත් සිතන' බවත් සඳහන් කළේය.

(බීබීසි සංදේශය)

Rate this item
(0 votes)
Last modified on Wednesday, 05 October 2016 10:06

Related items