May 17, 2024

මහින්දගේ වශී බෝලය වැඩ කරන හැටි නාමල් හෙළි කරයි (VIDEO)

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පසුගිය ජනාධිපතිවරණ සමයේ දී නිරන්තරයෙන් අතේ තබාගෙන සිටි උපකරණයක් පිළිබඳව බොහෝ පිරිසක් අතර විශේෂ කතාබහක් ඇති වී තිබිණි.

බොහෝ දෙනා  එම උපකරණය “ වශීබෝලය” ලෙස හැඳින්වූ අතර ඊයේ (30) හිරු නාලිකාවේ පැවති සලකුණ දේශපාලන වැඩසටහනට පැමිණි පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ඒ සම්බන්ධව අදහස් දැක්වීය.

එහිදී ඔහු කියාසිටියේ එය ගුප්ත බලයක් සහිත උපකරණයක් නොවන බවත් තමාද එය කෙටි කලක් භාවිතා කර පසුව නවතා දැමූ බවයි.

එවකට සිටි විපක්ෂය හිටපු ජනාධිපතිතුමන්ට මඩ ගැසීමට ඔහු ඇඳ සිටින ඇඳුමේ සිට කොණ්ඩය පීරන ආකාරය දක්වා සියල්ල යොදාගත් බවත් ඔහු අතේ තබාගෙන සිටින්නේ වශී බලයක් ඇති උපකරණයක් බවට අසත්‍ය ප්‍රචාර ගෙන ගිය බවත් නාමල් රාජපක්ෂ මහතා මෙහිදී කියාසිටියේ ය.

මේ අතර නාමල් රාජපක්ෂ මහතා කියාසිටියේ , “ එම උපකරණය තායිලන්තයේ බොහෝ පූජකවරුන් පාවිච්චි කරනවා. විශ්වාසයක් තියෙනවා,  ඒක තියාගෙන හිටියම අතේ තියෙන ස්නායු පද්ධතියට හොඳාකාරව වැඩකළ හැකි යම්කිසි බලවේගයක් නිර්මාණය වෙනවා කියලා. ඒ කියන්නේ විශ්ව ශක්තියක් නෙවෙයි. ඇඟේ තියෙන පීඩන මධ්‍යස්ථානවලට වැඩ කරන්න පුළුවන් යම්කිසි උපකරණයක්. “ ලෙසයි.

ඔහු වැඩිදුරටත් කියාසිටියේ එම උපකරණය නොමැති වුවද මහින්ද රාජපක්ෂ මහතාට ඇති ජනතා ආකර්ෂණය නොඅඩුව පවතින බවයි.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපතිධූරය දරණ සමයේ විවිධ උත්සව අවස්ථාවලදී අතේ තබාගෙත සිටි උපකරණයක් සම්බන්ධයෙන් විවිධ මත පළ විය. එම උපකරණය ‘වජ්‍රය’ නමින් හඳුන්වනු ලබයි.

වීඩියෝව පහතින්. 

Rate this item
(0 votes)
Last modified on Tuesday, 31 May 2016 18:12

Related items