May 17, 2024

රනිල් හදන අලුත් රට ගැන මහින්දගෙන් සහතිකයක්

අලුත් රටක් හදන බව රනිල් වික්‍රමසිංහ අගමැතිගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් වන බවත් එය ඇත්තක් බවත් උතුරු නැගෙනහිර වෙන් කළ විට ලංකා සිතියම වෙනස්වී අලුත් රටක් නිර්මාණය වන බවත් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

ඔහු මේ බව කියා සිටියේ පැවදි හඬ හා ජාතික එකමුතුව යන සංවිධාන එක්ව අද (03) කොළඹ විහාරමහාදේවි උද්‍යානයේ පැවති ආශිර්වාද සමුළුව හා ජාතික සම්මුතිය පිළිගැන්වීමේ අවස්ථාවට එක්වෙමිනි.

මේ රට අලුත් රටක් බවට පත්කරන බවට එජාප ප්‍රතිපත්ති ප්‍රකාශනයේ ඇතුළත් වන බවත්, උතුරු නැගෙනහිර පළාත් වෙන්වුණු පසු ඉතිරිවන කුඩා භූමිය අලුත් රටක් ලෙස සැලකිය හැකිවෙනු ඇති බවත් ඔහු අවධාරණය කළේය.

ද්‍රවිඩ ජාතික සන්ධානය සමග එජාපය කුමන ගිවිසුම්වලට එළඹ ඇත්තේද යන්න රහසක් බවත් ෆෙඩරල් රටක් කිරීම යනු කෙබඳු ස්වරූපයක් ගනු ඇත්දැයි නොදන්නා බවත් මහින්ද රාජපක්ෂ මහතා පැවසී ය.

මේ රට ඒකීය රටක් ලෙස ඉදිරියටත් පැවතිය යුතු බවත් රට බෙදා වෙන්කිරීමට කිසිදු කලෙක ඉඩ නොතබන බවත් ඔහු සඳහන් කළේය.

රටට ආදරය නැති ඩොලර් වලට වැඩකරන සිවිල් සංවිධාන අතරේ සැබවින්ම රටට ආදරය කරන ජාතික සංවිධාන පැවැතීම සතුටට කරුණක් බවත් රටේ සාමය ගොඩනඟා සංවර්ධනය වෙනුවෙන් මේ සා කටයුතු සම්භාරයක් කරන්නට හැකිවීම ගැන තමන් සතුටට පත්වන බවත් හෙතෙම පැවසුවේය.

සංවර්ධනයේදී රටේ ඒ ඒ ප්‍රදේශවලට වෙනසක් සිදුනොකළ බවත්, සෑම ජන වර්ගයක් වෙනුවෙන්ම යුතුකම් ඉටු කළ බවත් රාජපක්ෂ මහතා වැඩිදුරටත් පැවසී ය.

එම අවස්ථාවට මුරුත්තෙට්ටුවේ ආනන්ද, මැදගොඩ අභයතිස්ස යන හිමිවරු ප්‍රමුඛ භික්ෂූන් වහන්සේලා පිරිසක් ද වෛද්‍ය ගුණදාස අමරසේකර, තිලංග සුමතිපාල, බන්දුල ගුණවර්ධන යන මහත්වරුද එක්ව සිටියහ.

 

Rate this item
(0 votes)
Last modified on Tuesday, 04 August 2015 23:03

Related items