May 05, 2024

අගමැති පුතා රෝහිත පළමු පන්දුවෙන්ම ලකුණු නොලබාම දැවී යයි: දැවී ගියෙත් කඩුල්ල වහන්න ගිහින්

අග්‍රාමාත්‍ය බාල පුතු වන රෝහිත රාජපක්ෂ සිය මංගල එක්දින තරගයේදී ලකුණු නොලබාම දැවී ගොස් තිබෙනවා.

එහිදී රෝහිත රාජපක්ෂ දැවී ගොස් තිබෙන්නේ මුහුණ දුන් පළමුවෙනි පන්දුවෙන්ම.

කඩුල්ල මුවා කිරීම

කඩුල්ල මුවා කිරීමේ වරදට රෝහිත රාජපක්ෂ දැවී ගිය අතර කඩුල්ල ලබා ගත්තේ අනුක් ප්‍රනාන්දු.

අනුක් ප්‍රනාන්දු මොරටුව සාන්ත සෙබස්තියන් විද්‍යාලයේ ආදි සිසුවෙක්.

සිය මංගල එක්දින තරඟයේදී රෝහිත රාජපක්ෂ ක්‍රීඩා කළේ ආරම්භක පිතිකරුවෙකු ලෙසයි.

නාවික හමුදාවට එරෙහිව

රෝහිත රාජපක්ෂ මෙසේ ලකුණු නොලබාම දැවී ගියේ ඔහු නියෝජනය කරන කළුතර නගර ක්‍රීඩා සමාජය සහ නාවික හමුදාව අතර පැවති තරඟයේදී.

එම තරගය පසුගිය බදාදා (27) දින වැලිසර නාවික හමුදා ක්‍රීඩාංගණය පැවැත්වුණේ ශ්‍රී ලංකා එක්දින සීමිත ඕවර තරගාවලියේ තරගයක් ලෙසයි.

ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් නාවික හමුදා කණ්ඩායම ලකුණු 160ට සියලුම ක්‍රීඩකයන් දැවී ගියා.

පළමු තරගයෙන්ම ජය

එම ලකුණු ප්‍රමාණය හඹාගිය කළුතර නගර ක්‍රීඩා සමාජයේ ආරම්භක පිතිකරු රෝහිත රාජපක්ෂ කණ්ඩායමේ මුළු ලකුණු සංඛ්‍යාව 7 ක් තිබියදී ලකුණු නොලබාම දැවී ගියත් සිය ඉනිමේ 42 වැනි පන්දු වාරයේදී කඩුලු 8ක් දැවී ලකුණු 164ක් ලබා ලබා ගනිමින් තරගය ජයග්‍රහණය කළා.

කළුතර නගර ක්‍රීඩා සමාජය වෙනුවෙන් රෝහිත රාජපක්ෂ සමග ආරම්භක පිතිකරුවා ලෙස ක්‍රීඩා පිටියට පැමිණියේ විශ්හාර ප්‍රනාන්දුයි.

ඔහු ලකුණු 28ක් ලබා ගත්තා.

රෝහිත රාජපක්ෂ නියෝජනය කළ කළුතර නගර ක්‍රීඩා සමාජයේ නායකත්වය දැරුවේ රුමේෂ් නල්ලපෙරුම.

විවිධ අංශවල දක්ෂතා

රග්බි ක්‍රීඩාවට දක්ෂයකු වන රෝහිත රාජපක්ෂ ශ්‍රී ලංකා පළමු පෙළ ක්‍රිකට් තරඟයකට සහභාගි වූ පළමු අවස්ථාව මෙයයි.

ඒ හැරුණු කොට රෝහිත රාජපක්ෂ රොකට් විද්‍යාව ගැන ප්‍රවීනයෙක් වෙන්න ගණිතය පිළිබඳ ආචාර්යවරයෙකු ද වනවා.

මේ වන විට ඔහු අග්‍රාමාත්‍යවරයාගේ කුරුණෑගල දේශපාලන කටයුතු සම්බන්ධීකාරක වශයෙන් කටයුතු කරමින් සිටිනවා.

Rate this item
(0 votes)
Last modified on Friday, 29 October 2021 16:32