May 03, 2024

"කී‍්‍රඩාගාරයට ගිහින් පා ආවරණ ගලවනකොට, ඒ අන්තිම වතාවට කියල දැනුනා" - සංගා

ක‍්‍රීඩාවෙන් සමුගැනීමෙන් අනතුරු ව ක‍්‍රීඩකයින් ක‍්‍රීඩා කරන දෙස බලා නවක ක‍්‍රීඩකයන් අගය කිරීමට තමන් අපේක්ෂා කරන බව ටෙස්ට් පිටියෙන් සමුගත් ශ්‍රී ලංකා සුපිරි පිතිකරු කුමාර් සංගක්කාර පවසයි.

ඔහු මේ බව සඳහන් කළේ කොළඹ පී. සරාඕවල් ක‍්‍රීඩාංගණයේ දී ඉකුත් 24 වැනි දා අවසන් වූ දෙවැනි ටෙස්ට් ක‍්‍රිකට් තරගයෙන් පසුව පැවැති මාධ්‍ය හමුවේ දී ය.

ඔහු එහි දී සඳහන් කළ විශේෂ තොරතුරු කිහිපයක් පහත පරිදි වේ.

"ක‍්‍රිකට් ගොඩනගන්න පෙර ගෙදර යන්න ඕනේ"

"හෙට මම එංගලන්තයට යනවා. පළමුවෙන්ම මගේ භාර්යාව සහ දරුවන් සමග කතා කරලා ඔවුන්ට අවශ්‍ය දේ දෙන්න ඕනේ. මම ක‍්‍රිකට් ක‍්‍රීඩාවට සම්බන්ධ වුණත් නැතත් ක‍්‍රීඩාව ඉදිරියට යනවා. මට ඊට වඩා වගකීමක් තියෙනවා දරුවන් සහ භාර්යාව කෙරෙහි. මුලින් ඒ පිළිබඳව හිතන්න වෙනවා"

ක‍්‍රීඩාවෙන් ඉවත්වීම පිළිබඳ මොනවගේ අදහසක් තියෙන්නේ?  

"කණගාටුයි දුකයි. සතුටකුත් තියෙනවා. ක‍්‍රීඩාවේ හැමදාම ඉන්න එකත් පහසු නෑ. පීඩනයක් තියෙනවා. දහඩිය මහන්සියක්, කැපවීමක් ඒ සියලු දේත් එක්කම සමහර වෙලාවට පහසු දෙයක් නොවෙයි. ඒ අතින් බලද්දී සැහැල්ලුවක් තියෙනවා"

අවසන් ටෙස්ට් තරගයේ ආරම්භය වනවිට දැනුන හැඟීම පිළිබඳ කතා කළොත්? 

"අද දවස ආරම්භ වෙද්දී තමා දැනුනේ මේ මගේ අවසාන තරගය කියලා. දවස අවසානයේ දී තම සියලු හැඟීම් දැනෙන්නේ"

බි‍්‍රතාන්‍යයේ මහ කොමසාරිස් ධූරයට කළ ආරාධනාව පිළිබඳ අදහස? 

"ජනාධිපතිතුමාගේ ආරාධනය ගැන ඇත්තටම පුදුම වුණා. ඒ ගැන මම ජනාධිපතිතුමා සමග සාකච්ඡා කරන්න ඕනේ. ඒ ගැන මම ගෙදර ගිහින් හිතන්න ඕනේ.

අවසන් ටෙස්ට් තරගයේ පරාජය පිළිබඳ කළ විමසුමේ දී ඔහු මෙසේ අදහස් පළ කළේ ය.

"මේ තරගයේ දී මට කණ්ඩායමට දායකත්වයක් ලබාදෙන්න බැරි වුණා. මම බ‍්‍රැඩ්මන් සෙල්ලම් කරනවා දැකලා තියෙනවා, වීඩියෝ පටවලින්.  ඕනැම යුගයක විශිෂ්ට කී‍්‍රඩකයන්ට අද තියෙන පහසුකම්, නූතත තාක්ෂණය තිබුණොත් ඔවුන්ගේ දක්ෂතා තවත් දක්වයි. ඔවුන්ගේ වාර්තා තවත් ඉහළ යයි. සංසන්ධනය හැමදාමත් තියේවි. ඒත් අපට කවදාවත් ඔවුන් වෙන්න බැහැ. එයයි ස්වභාවය. මට අවශ්‍ය වෙන්නේ කුමාර් වෙන්න. එය ආරක්ෂා කරගන්න. කී‍්‍රඩාව කරලා අද මා ලබාගෙන තියෙන දේවල් ලබාගන්න" 

"මගේ වගකීම වුණේ, කඩුල්ලේ රැඳි සිටින්න. නමුත් මට එය කරන්න බැරි වුණා. ඉන්දීය කී‍්‍රඩකයන් ඇවිල්ලා සුබ පතනකොට මට දැනුණා එය තමා අවසානය කියලා. රට නියෝජනය කරන අවසන් අවස්ථාව එය බව මට දැනුණා. කී‍්‍රඩාගාරයට ගිහින් පා ආවරණ ගලවනකොට, ඒ අන්තිම වතාවට කියල දැනුණා" 

ඉවුම පිහුම කිරීමට කැමති ද?

"මම හරි ආසයි බත් මාළු උයන්න පුළුවන්නම්. මට ඒ දේ තාම හරියට කරන්න බෑ. යෙහාලි කැමති නෑ මම කුස්සියට ඇවිත් උයන එකට. මොකද හැඩි කරනවා වැඩි කියලා. නමුත් පුළුවන් විදියට උයන්න ආසයි. තව ඉගෙන ගන්න තියෙනවා"

 

Rate this item
(2 votes)
Last modified on Wednesday, 26 August 2015 11:15