May 04, 2024

මහ කන්නයේ වී මිලදී ගැනීමට බිලියන 10ක් 

February 13, 2015

මෙවර මහ කන්නයේ වී මිලදී ගැනීම සඳහා රුපියල් බිලියන 10ක් වැය කරන බව ආහාර සුරක්ෂිතතා අමාත්‍ය ගාමිණී ජයවික‍්‍රම පෙරේරා මහතා පවසයි. 

වී මිලදී ගැනීම සඳහා තව දින පහකින් රුපියල් බිලියන 02ක මුදලක් මහ භාණ්ඩාගාරය මඟින් මුදා හැරීමට නියමිත බව අමාත්‍යවරයා පසුගියදා ආහාර සුරක්ෂිතතා අමාත්‍යාංශයේ පැවති සාකච්ඡාවකදී පැවසී ය. 

ලබන මාර්තු මාසය තුළ වී මිලදී ගැනීම සඳහා රුපියල් බිලියන 05කට ආසන්න මුදලක් වැය කරන අතර සිංහල අවුරුද්ද දක්වාම වී මිලදී ගැනීම සිදු කරන බව ද හෙතෙම සඳහන් කළේය. 

දිස්ත්‍රික් ලේකම්වරුන්ට වී මිලදී ගැනීම සඳහා මුදල් නිකුත් කරන බවත් ලියාපදිංචි ගොවි සංවිධාන හරහා වී මිලදී ගැනීම කිලිනොච්චිය, අම්පාර සහ කුරුණෑගල දිස්ති‍්‍රක්කවලින් මූලිකවම සිදු කරන බවත් සම්බා කිලෝවක් රුපියල් 50.00ක මුදලකට ගන්නා බවත් අමාත්‍යවරයා අවධාරණය කළේය. 

මෙවර අයවැයෙන් දේශීය ගොවියා ආරක්ෂා කිරීමට වී සඳහා සහතික මිලක් නියම කොට ඇත. ඒ අනුව සම්බා වී කිලෝවකට රුපියල් 50.00ක ද, නාඩු වී කිලෝවක් සඳහා රුපියල් 44.00ක ද සහතික මිලක් නියම කර ඇත.

Rate this item
(0 votes)