May 08, 2024

‘සුපිරි වාසි බද්ද’නිසා සුපිරි සමාගම් දෙදරයි

සුපිරි වාසි බද්ද පසුගිය රජයේ විශේෂ අනුග්‍රහය යටතේ  ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක වන සමාගම් සහ ව්‍යාපාර විසින් අතීත වසර කිහිපයක් තුළ අති විශාල ලාභ උපයා ඇති බවත් නව රජය විසින් නිරීක්ෂණය කර ඇති බව සඳහන් කරයි.

මේ අනුව සුපිරි වාසි බද්දක් යෝජනා කිරීම තුළින් එක්වරක් සිදු කරනු ලබන ගෙවීමකින් බදු අයකර ගනු ලැබීම තීරණය කර තිබේ. මේ අනුව 2013/14 බදු වර්ෂය තුළ රු.මිලියන  2,000 කට අධික ලාභයක්  උපයන ලද ඕනෑම සමාගමකට හෝ පුද්ගලයෙකුට තම ලාභයෙන් සියයට 25 ක් බදු ලෙස ගෙවීමට සිදුවනු ඇති.  මෙම සමාගම් විසින් අයුතු ලෙස උපයන ලද වාසි මහජනතාවට  ආපසු ලබා  ගැනීමට මෙය උපකාරී වනු ඇති බවයි නව රජයේ අපේක්ෂාව වන්නේ. 2015 වර්ෂයේදී  මෙමගින් උපයා ගැනීමට අපේක්ෂිත ආදායම රු. මිලියන 50,000 කි.

රජයේ කෙටි කාලීන ආදායම් අවශ්‍යතාවයන් සපුරාගැනීමට පමණක් මෙම බද්ද හඳුන්වා දී තිබෙන බවත් සඳහන් වෙයි.

කෙසේවෙතත් නව රජයේ අතුරු අයවැය මගින් දැවැන්ත සමාගම් වෙත මෙලෙස සුපිරි බද්ද (super gains tax) අය කිරීම පිළිබඳව විරෝධතාවයක්  ව්‍යාපාරික ප්‍රජාව තුළින් ඇතිවී තිබෙන බවත් වාර්තා වේ.

මේ පිළිබඳව ඔවුන් අදහස් දක්වමින් පවසන්නේ මෙම බද්ද අතීතයේ ලාභ වෙනුවෙන් අයකර තිබීම ප්‍රශ්නයක් බවය.

අනාවරණය වන ආකාරයට මෙම බද්ද නිසා කොළඹ කොටස් වෙළඳ පොළේ ලයිස්තුගත කර තිබෙන සමාගම් 20 කට වැඩි ප්‍රමාණයකට ප්‍රබල බලපෑමක් සිදු කෙරෙමින්ද පවතී.

මේ අනුව, මෙම සුපිරි වාසි බද්දට ජෝන් කීල්ස් හෝල්ඩින්ග්ස්, ඩිස්ටිලරීස්, සිලෝන් ටුබැකෝ, කාර්සන්ස්, බුකිට් ඩාරා, එයිට්කන් ස්පෙන්ස්, නෙස්ලේ, ඕවර්සී රියල්ටි, ඇක්සස් ඉංජිනියරිං, ලංකා ඉන්දීය ඔයිල් සමාගම, ලංකා ලුබ්රිකන්ට්, AHPL, HHL, සහ ටෝකියෝ සිමෙන්ති යන සමාගම් යටත් වීමේ වැඩි ඉඩකඩක් තිබෙන බවද ආර්ථික විශ්ලේශකයන් පෙන්වා දෙයි.

මූල්‍ය අංශය නියෝජනය කරන කොමර්ෂල්, හැටන් නැෂනල්, සම්පත්,ඩී.එෆ්.සී.සී, සෙලාන්, NTB, NDB, යන බැංකු සහ සෙලින්කෝ රක්ෂණ සමාගම, සෙන්ට්‍රල් ෆයිනෑන්ස්, පීපල්ස් ලීසිං යන සමාගම්ද මෙම බද්ද යටතට වැටීමේ ඉඩකඩක් ඇත.

Rate this item
(0 votes)
Last modified on Sunday, 01 February 2015 07:53