May 07, 2024

පාරිභෝගික ආකර්ෂණය දිනන ආකාරය

මුළු මහත් අලෙවිකරණ ක්‍රියාදාමයේම වැඩිම කලඑළියක් ඇත්තේ ප්‍රවර්ධන ක්‍රියාවලියටයි. මෙහි අංග ගණනාවක්ම තිබේ. මාළු වෙළෙන්දා මාළු මාළු යැයි හඬ නඟා කියන්නේත්, සාරවිටකාරයා තම ගෙජ්ජි වැල සොලවන්නේත්, කලාවකට ලතාවකට පාට පාට පේළි අවුරා පහනක් දල්වන්නේත්, තමා වෙත අවධානය යොමු කරගන්නට. අලෙවි ප්‍රවර්ධනයේ මුල්ම පියවරත් එය වෙයි.

පාරිභෝගිකයා මුලින්ම අප ලබාදෙන සේවාව නැත්නම් භාණ්ඩය වෙත අද්දවා ගත යුතුයි. ඉන්පසු එම භාණ්ඩය හෝ සේවාව ලබා ගැන්මට පොලඹවා ගත යුතුයි. අලෙවි ප්‍රවර්ධනය ගැන කියන විට ප්‍රචාරණය මෙන්ම විකුණුම් වැඩි කිරීමත් අදාළ වෙනවා. නමුත් අපි මුලින්ම ප්‍රචාරණය ගැන කතා කරමු.

ප්‍රචාරණය ගැන කියන විට වෙළෙඳ දැන්වීම් යන්න නිතර භාවිත වෙනවා. වෙළෙඳ දැන්වීමක තිබෙන ප්‍රධානතම ලක්ෂවනුයේ එහි ඇති පෙලඹවීමක් ඇති කිරීමේ ශක්තියයි. වෙළෙඳ ප්‍රචාරණ දැන්වීමක් සාර්ථකවන්නේ එහි ඇති මෙම පෙළඹවීමේ ශක්තිය මත. ඒ නිසා වෙළෙඳ දැන්වීම් එවැනි කාර්යයක් ඉටු කරන්නේ කෙසේ ද කියා විමසීම ඉතා වැදගත්.

අලෙවි ප්‍රචාරණයේ දී අවශ්‍ය අවධානය ලබා ගැන්මට මේ කරුණු තේරුම් ගැනීම ඉතාමත් වැදගත් වෙනවා.

ස්ත්‍රී පුරුෂ භාවය, වයස, අධ්‍යාපන මට්ටම, ආදායම, සමාජ තත්ත්වය, පෞද්ගලික ආකල්ප, සිතුම් පැතුම්, කැමැති අකැමැති දේ අවධානය යොමු කිරීම, පණිවුඩය තේරුම් ගැනීම හා ඊට දක්වන ප්‍රතිචාරය යන සියළු කරුණු පිළිබඳ විශාල ලෙස බලපෑම් ඇති කරයි.

එබැවින් අලෙවි ප්‍රචාරණයට අවශ්‍ය දැන්වීම් පිළියෙල කිරීමේ දී මේ සියළු කරුණු ගැන අවධානයට යොමු කළ යුතු වෙනවා. මෙහි දී අලෙවිකරුවා විසින් විමසනු ලැබිය යුතු වැදගත්ම ප්‍රශ්න ගණනාවක් තිබේ.

1. මගේ අලෙවි අභිප්‍රාය ඉටු කර ගැනීමට ඉලක්ක කරගත යුත්තේ කවුරුන් ද?

2. ඔහුගෙන්/ඇයගෙන් මා බලාපොරොත්තුවන ප්‍රතිචාරය කුමක් ද?

3. ඒ ප්‍රතිචාරය ලබා ගන්නට පැවැසිය යුතු පණිවුඩය කුමක් ද?

4. ඒ පණිවුඩය කවර ලෙසකට සකස් විය යුතු ද?

5. එසේ නම් ඒ පණිවුඩය යවන්නට සුදුසුම මග කුමක් ද?

6. කෙතරම් වාර ගණනක් කවර අවස්ථාවන්හි දී එම පණිවුඩය යැවිය යුතු ද?

ඇත්ත වශයෙන්ම යම් පණිවුඩයක් තවත් කෙනකුට හොඳින්ම පැහැදිලි කර දීමට තිබෙන හොඳම ක්‍රමය නම් මුහුණට මුහුණ හමු වී කතා බස් කිරීම. එහෙත් බොහෝ අලෙවි අවස්ථාවන්හි දී මේ ක්‍රමය අනුගමනය කරන්නට අපහසු වන්නේ එක්වර භූගෝලීය වශයෙන් විශාල ප්‍රදේශයන්හි ව්‍යාප්තව සිටින විශාල සංඛ්‍යාවකට ඇමතීමට අවශ්‍ය වීම නිසා.

කෙසේ වෙතත් සුවිශේෂසේවාවන් සපයන වෘත්තිකයන් පෞද්ගලික ඇණවුම්වලට භාණ්ඩ සපයන සමහර අයට නම් මේ ක්‍රමයට තම ප්‍රචාරණය කළ හැකියි.

විශාල පිරිස් ඇමතීමට ඇති අවස්ථා ලෙස පුවත්පත්, ගුවන් විදුලිය, රූපවාහිනිය, පෝස්ටර්, මඟ දෙපස පුවරු, අලෙවි සල්වල ඇති දසුන්පත්, බැනර්, රාක්ක තීරු පටි, සාප්පු ජනේල සැරසිලි, අලෙවි ප්‍රදර්ශන කුටි, සිනමා ශාලා, බස් නැවතුම, බස්රථ හා වාහන, ප්‍රසිද්ධියේ පාවිච්චි කරන තිළිණ (උදා: ටී ෂර්ට්, කුඩ) බොහෝ මාධ්‍ය හඳුනා ගන්නට පුළුවන්. වෙනකක් තබා භාණ්ඩයේ ඇසුරුමත් අද ප්‍රචාරක මාධ්‍යයක්.

තරගකාරීත්වය හා තාක්‍ෂණික දියුණුව වැඩිවන්නට වැඩිවන්නට තම පණිවුඩය පාරිභෝගිකයා අතරට ගෙන යෑමට අලෙවිකරුවන් නොයෙකුත් මාධ්‍යයන් සොයා යන්නට පෙළඹෙයි. වඩාත්ම අලුත් මාධ්‍යය වී ඇත්තේ "ඉන්ටර්නෙට්" සන්නිවේදන ජාලයයි.

Rate this item
(1 Vote)