May 08, 2024

රූපවාහිනියේ වෙළෙඳ දැන්වීම් දැමීමට පෙර  

ව්‍යාපාරික සන්නිවේදනයේ ප්‍රබලතම භාවිතය ලෙස රූපවාහිනිය හඳුනාගත හැකි ය. යම්කිසි චැනල් එකකට සමීපවීම වෙනුවට වැඩසටහන් තෝරා ගැනීම අද ප්‍රේක්ෂක චර්යාව බවට පත්ව ඇත. ආලින්දයේ තිබූ රූපවාහිනිය, ඒ සඳහාම වෙන් වූ කොටසක හෝ තම තමන්ගේ කාමරයේ තිබෙන අංගයක් බවට පත්වෙමින් තිබේ.

එමෙන්ම දුරස්ථ පාලකය හේතුවෙන් නිරන්තරව චැනල් මාරු කිරීමද ප්‍රේක්ෂක පුරුද්දක්වන නිසා ඉලක්ක ප්‍රේක්ෂකයා වෙත තම වෙළෙඳ පණිවුඩය ගෙන යෑම අභියෝගයක් ව පවතී.

තරගකාරීත්වය වැඩිවීමත්, වෙළෙඳ දැන්වීම් සංඛ්‍යාව වැඩිවීමත් හේතුවෙන් සිය ඉලක්ක පාරිභෝගිකයා රූපවාහිනිය නරඹන මොහොතක තම වෙළෙඳ පණිවුඩය ගෙනයෑම සූක්ෂම විද්‍යාවක් බවට පත් ව ඇත. 2010 වසර වනවිට මිලියන 30ක් 40ක් වැනි මුදලක් වැය නොකළහොත් ප්‍රමාණාත්මක රූපවාහිනි ප්‍රචාරක ප්‍රයත්නයක් සිදුකළ නොහැකි තරමට මෙම තත්ත්වය උග්‍ර වී ඇත.

මේ හේතුව නිසාම ප්‍රචාරණයේ දී මාධ්‍ය කාල වෙන්කර ගැනීම තම ප්‍රධාන ව්‍යාපාරික කටයුත්ත කරගත් ආයතන බිහි ව ඇත. සාම්ප්‍රදායික තත්පර 30 වෙළෙඳ දැන්වීමෙන් ඔබ්බට ගිය නිර්මාණාත්මක ප්‍රයත්නයන් වර්තමනයේ දක්නට ලැබේ.

තම ඉලක්ක පාරිභෝගිකයා නරඹන වැඩසටහන් අතරතුර වෙළෙඳ දැන්වීම් පළකරවා ගැනීම, සම්පූර්ණ වැඩසටහන් තම ප්‍රචාරක පණිවුඩය ලෙස භාවිත කිරීම, යම් වැඩසටහන්හි පසුතල ආදියෙහි තම භාණ්ඩ සන්නාමය ප්‍රතිරූපණය කිරීම වැනි උපක්‍රම මෙහිදී උදාහරණ ලෙස දැක්විය හැකි ය.

දැන්වීම නිර්මාණ කිරීමට පෙර තම ඉලක්ක පාරිභෝගිකයන්ගේ රුචි අරුචිකම් පමණක් නොව ඒ හා බලපෑම් කරන විශ්වාස, ආකල්ප ආදිය ගැනත් විනිවිද විමසා බැලීම කළ යුතු වන්නේ ය.

සාර්ථක දැන්වීමක තිබිය යුතු ඉතා වැදගත්ම ලක්ෂණයවන්නේ එහි එක් නිශ්චිත පණිවුඩයක් ගැබ්ව තිබීමයි. තමාට කීමට අවශ්‍ය සියළු දෙය නොව පාරිභෝගිකයාගේ චර්යාත්මක වෙනස ඉටු කිරීමට බලපාන ප්‍රධානම කිති කැවීම හඳුනාගෙන එය ඉස්මතුවන කේන්ද්‍රීය සංකල්පයක් වටා රූපවාහිනි පණිවුඩ නිර්මාණය වී තිබිය යුතු ය.

බොහෝ දේ කීමට වඩා ඵළ දරන එකම දේ කුමක්දැයි තෝරා බේරාගත යුතු ය.

එමෙන්ම සාර්ථක රූපවාහිනි දැන්වීමක්වන්නේ එහි ප්‍රබල අදහස් ගැබ්ව ඇති විටයි. එවන් අදහසක් හඳුනාගත හැක්කේ එය භාණ්ඩයට, සන්නාමයට, පණිවුඩයට ආදියට හොඳින් ගැළපීමත්, විවිධ නිර්මිතයන් තුළින් ඉදිරිපත් කිරීමට හැකිවීමත් තුළින් ය. රෙදි සේදීම කරදරකාරී දෙයක් නොව තෘප්තියක් ලබාදෙන කටයුත්තක් බවට ඉතා ළගන්නා ගීතයක් ඇසුරින් වසර කිහිපයකට පෙර ඉදිරිපත් කරන ලද ප්‍රචාරක තේමාව මේ වනවිට තවමත් විවිධ හැඩතලවලින් ඉදිරිපත් කිරීම මෙයට හොඳ උදාහරණයකි.

රූපවාහිනි වෙළෙඳ දැන්වීමක් නිර්මාණය කිරීමේ දී ඉලක්ක පාරිභෝගිකයාගේ සිත්ගන්නා, පෙළඹවීමක් කළ හැකි දෙයක් විය යුතු ය. ඊට ගැළපෙන තේමාවක් තෝරා ගැනීම, සුදුසු නිරූපික නිරූපිකාවන් තෝරා ගැනීම, සංගීතය, සුවිශේෂ තාක්ෂණික ප්‍රයෝග භාවිතය සැළකිල්ලෙන් කළ යුතු මෙන්ම ඉලක්ක පාරිභෝගිකයන්ගෙන් අමතරව  සෙසු සාමාජිකයන් එම ප්‍රචාරක පණිවුඩයට දක්වන ප්‍රතිචාරය ගැන සංවේදී විය යුතු ය.

Rate this item
(0 votes)
Last modified on Wednesday, 21 January 2015 09:29