May 19, 2024

ව්‍යාපාර අඩාල කරන වෙළෙඳ දැන්වීම් 

වෙළඳාමක් සාර්ථක කර ගැනීම සඳහා ඊට සියළු කටයුතු මනා ලෙස ගැලපී තිබිය යුතු ය. එකමුතුකමක් සහ නිසි වැඩපිළිවෙළක් නොතිබීම හේතුවෙන් බොහෝ අවස්ථාවල දී වෙළෙඳ ව්‍යාපාර පාඩු සිදුවීම, අසාර්ථකත්වීම දක්නට ලැබේ.

ප්‍රචාරණය වෙළෙඳ ක්‍රියාවලියේ වැඩි වශයෙන්ම කැපී පෙනෙන අංගය වෙයි. මේ ක්‍රියාවලිය සෙසු කාර්යන්නට වඩා ඉදිරියෙන් සිටී. එම කාරණය හේතුවෙන් බොහෝ ව්‍යාපාරිකයෝ පාඩු සිදු කර ගැනීම සුලබ ව දක්නට ලැබේ. ඉන් නිකරුනේ සම්පත් නාස්තිවන අතර එය ලාභය අඩු කර ගැනීමට හේතු වෙයි. වෙළෙඳ ප්‍රචාරණයට වැයවන වියදම කොපමණ ද යන්න එකවරම සොයා ගැනීමට නොහැකි ය. 

ඇතැම් අවස්ථාවල දී වියදම් සිදු වුව ද තමන් වියදම් කළ මුදලට හොඳ ප්‍රතිඵලයක් ලැබුණ ද යන්න නිශ්චිතව සොයා ගැනීම අසීරු වෙයි. 

ප්‍රචාරණයට වැයවන මුදල කොපමණ ද යන්න නිශ්චිත ව තහවුරු කළ නොහැකි අතර වියදම්වලින් හරි අඩක් පමණ ඒ සඳහා වැයව බව බොහෝ ව්‍යාපාරිකයෝ දරන අදහස වේ.එය සෑම ස්ථානයකට ම පොදු වූ සත්‍යයයකි. 

විශාල වශයෙන් ප්‍රචාරණ කටයුතුවල යෙදෙන සමාගම් තම වෙළෙඳ ප්‍රචාරණය සාර්ථක බව මැන ගන්න එවැනිම වියදම් දරමින් සොයා බැලීම් කරයි. එහෙත් සියළු දෙනාට එය සිදු කිරීම අපහසු ය. වෙළෙඳ ප්‍රචාරණයට යන්න කලින් හිතාගන්න ඕනෑ කරුණු කිහිපයක් ඇත. 

ව්‍යාපාරයක් කරන විට විතරක් නොවෙයි එදිනෙදා ජීවිතයේ දී වුණත් යම් වියදමක් කරන්නට කලින් අපි හිතල බලනවනෙ මේ වියදමෙන් ලැබෙන ප්‍රයෝජනය ගැන. විශේෂයෙන්ම ව්‍යාපාරයක් කරද්දි මුදලක් වියදම් කරන්නෙ ඒකෙන් යම්කිසි වැඩි ආදායමක් ලබා ගන්න බලාපොරොත්තුවෙන්මනෙ. ඒ වගේම කල්පනා කරනවා මෙම වැඩි ආදායම ලබා ගන්න පුළුවන් වෙන්නෙ කොයි තරම් කාලයකදී ද කියලත්.

වෙළෙඳ දැන්වීම් ප්‍රචාරණ තීරණයක් ගැනීමේදීත් ඒ වගේ සලකා බැලීමක් කළ යුතුම වනවා. එහි දී බලාපොරොත්තුවන්නෙ කෙටි කාලයකින් ලබාගත හැකි ලාභයක් ද කෙටි කාලීන ව්‍යාපාරික වුවමනාවක් ද (උදා: පරණ තොගයක් අලෙවි කර ගැනීම අබලි භාණ්ඩ තොගයක් විකුණාගෙන ඉඩ ලබා ගැනීම) එහෙම නැත්නම් දිගුකාලීන ව්‍යාපාරික අරමුණක් ඉටු කර ගැනීම ද (උදා: මගේ භාණ්ඩය පිළිබඳව යහපත් ප්‍රතිරූපයක් පාරිභෝගික සිත් තුළ ඇති කිරීම) කියලා මුලින්ම තීරණය කළ යුතුයි. මෙම මූලික ප්‍රශ්න දෙක සලකා බැලීමෙන් පසුව තමා තීරණය කළ යුත්තේ කොපමණ මුදලක් කෙතරම් කාලයක දී වැය කළ යුතුද යන්න. 

එසේ නැතිව කරන්නන් වාලේ නම් කළ යුතු දෙයක් නොවේ වෙළෙඳ ප්‍රචාරණය. 

ප්‍රචාරණය අවශ්‍ය ද? 

සැබැවින්ම ඔබේ නිෂ්පාදනයට එම නිෂ්පාදනය පිළිබඳ ඇති අනාගත සැලසුම්වලට අනුව ප්‍රචාරයක් අවශ්‍ය ද අත්‍යවශ්‍ය ද අනවශ්‍ය ද කියන ප්‍රශ්නය හොඳින් අසා බලන්න. 

ප්‍රචාරයට සූදානම 

වෙළෙඳ ප්‍රචාරයෙන් පසු විය හැකි වැඩි වන ඉල්ලුම සපයන්න නිෂ්පාදන පහසුකම් තිබෙනවා ද? ඒ සඳහා කොතරම් කාලයක් ගත වනවා ද? 

කියන තරම්ම භාණ්ඩ හොඳ ද? 

ඔබේ ප්‍රචාරණ ප්‍රයත්නයේ දී ඔබේ භාණ්ඩය ගැන ප්‍රකාශ කරන වර්ණනා හා ගුණ වැනුම්වලට සැසඳෙන ඉහළ තත්ත්වයක තම භාණ්ඩය සේවාව පවතිනවා ද? බොහෝ භාණ්ඩ වෙළෙඳපොළෙන් අතුගෑවී යෑමට හේතුවන කරුණක් තමා මෙය. ප්‍රචාරය නිසා බොහෝ දෙනෙක් භාණ්ඩය අත්හදා බලනවා. එය තත්ත්වයෙන් එතරම් හොඳ නැති නම් විශාල සංඛ්‍යාවක් භාණ්ඩය ප්‍රතික්ෂේප කරනවා. මේ නිසා තත්ත්වය උසස්වන තුරු ප්‍රචාරය කිරීම හරිම අවදානම්. එලෙස අසාර්ථක භාණ්ඩයක් වෙළෙඳපොළට ඉදිරිපත් කිරීම නිසා අනාගතයේ දී හොඳ භාණ්ඩයක් ඉදිරිපත් කළත් වෙළෙඳපොළ ජය ගැන්ම අපහසු වෙනවා. 

බෙදාහැරීම කොහොම ද? 

ඔබේ නිෂ්පාදන බෙදා හරින්නේ දිවයිනේ එක් සීමිත පළාතකට පමණක් නම් දිවයින පුරා පැතිරුණු ප්‍රචාරක මාධ්‍යයක ප්‍රචාරය කිරීමේ ඇති පලක් නැහැ. ඒ විතරක් නෙවෙයි, ඉන් අනවශ්‍ය තරගයක් ද නිර්මාණය කර ගැනීමක් සිදු වෙනවා. 

මේ සියලු තත්ත්වයන් සම්පූර්ණයෙන්ම පවතින විටදීත් නුසුදුසු ප්‍රචාරක වැඩකටයුතු යොදා ගැනීමෙන් ද බොහෝදෙනාට පාඩු සිදු වෙනවා. මෙයට බොහෝ විට හේතුවන්නේ "මම සියල්ල දන්නවා" යැයි සිතීමත් ප්‍රචාරණය යනු අලෙවිකරණයේම එක් අංගයක් බව නොසලකා ප්‍රචාරණය කරන්නන් වාලේ ඒ කටයුත්තේ යෙදෙන ප්‍රචාරක උපදේශකවරුන්ගෙන් උපදෙස් ගැනීමත්. 

තමාගේ ප්‍රචාරණ කටයුතු සඳහා ද යොදවා ගත යුත්තේ ඒ ගැන හොඳ අවබෝධයක් ඇති පුද්ගලයෙකි. ඒ සඳහා ප්‍රචාරක නියෝජිත ආයතනයක් (ඇඩ්වටයිසින් ඒජන්සියක්) වෙත යෑම ඉතාමත් සුදුසුයි. නමුත් ඔබේ ව්‍යාපාරයට සරිලන වෙළෙඳ දැන්වීම් ප්‍රචාරක ආයතනය තෝරා ගැනීමත් සිතා බලා සිදු කළ යුතුයි.

 

Rate this item
(0 votes)
Last modified on Friday, 02 January 2015 09:38