May 04, 2024

අලෙවිකරණයට දුරකතන 

December 26, 2014

අලෙවිකරුවන් ජනමාධ්‍ය මගින් ප්‍රචාරණය කිරීමට, නැතිනම් ලිපි මාර්ගයෙන් ගනුදෙනුකරුවන් ඇමැතීම් වැනි උපක්‍රම ක්‍රියාත්මක කරන අතර දැන් තවත් හොඳ අවස්ථාවක් උදාවෙලා තියෙනවා කෙළින්ම පාරිභෝගිකයාව අමතන්න. ඒ තමයි දුරකතනය. පසුගිය වසර කිහිපය තුළ ලංකාවේ දුරකතන භාවිතයේ ශීඝ්‍ර වර්ධනයක් ඇති වී තියෙනවා. දුරකතනය මාර්ගයෙන් විකිණීම දියුණු රටවල බෙහෙවින් වර්ධනය වෙලා තියෙන අලෙවි උපක්‍රමයක්.

 

එය දැන් දෙයාකාරයකට සිද්ධ වෙනවා. එක් ක්‍රමයක් තමා ජනමාධ්‍ය මගින් විශේෂයෙන්ම රූපවාහිනියෙන් තම භාණ්ඩ හා සේවා මිලයට ගැනීමට පාරිභෝගිකයා පොලඹවා එය ලබා ගැනීමට ඇමැතිය යුතු දුරකතන අංකයක් හඳුන්වා දීම. පාරිභෝගිකයා දුරකතන අංකයට අමතා අවශ්‍ය වැඩි විස්තර ලබාගෙන තම ක්‍රෙඩිට් කාඩ් අංකය ලබා දෙනවා. ඉන්පසු නිශ්චිත කාලයක් තුළ භාණ්ඩ ගෙදරටම ගෙනැවිත් දෙනවා. ලංකාවේත් එක්තරා සමාගමක් රූපවාහිනියෙන් එවැනි භාණ්ඩ අලෙවි කිරීමේ උත්සාහයක නිරත වෙනවා දක්නට පුළුවන්. අනෙක් ක්‍රමය තමා ඉලක්ක පාරිභෝගිකයන් වෙත දුරකතනයෙන් අමතා තම භාණ්ඩ හෝ සේවාව විකිණීමට උත්සාහ කිරීම. සමහර විට මෙය තමන්ට භාණ්ඩය විකිණීමට මුණ ගැසීමට වෙලාවක් අවසරයක් ලබා ගැනීමවන්නට පුළුවන්.

 

පළමුවෙන් සඳහන් කළ ක්‍රමයවන ගනුදෙනුකරුවා ලවා තමන්ට ඇමැතුමක් ලබාගැනීම, ආපනශාලා, සිල්ලර වෙළෙඳසැල්, ලිපි ද්‍රව්‍ය අලෙවි සැල්, අලුත්වැඩියා සේවා වැනි බොහෝ ආයතනවලට පාවිච්චි කරන්න පුළුවන්.

 

තම ව්‍යාපාරයේ ගනුදෙනුකරුවන්ට, ඒ ඒ අවශ්‍යතාවට ඇමැතිය යුතු දුරකතන අංකයක් ලබා දෙන්න පුළුවන්. සාමාන්‍ය සිල්ලර වෙළෙඳසැලකට වුවත් ගෙදරට බඩු බෙදා හැරීමේ ක්‍රමයක් මේ ආකාරයට ආරම්භ කරන්න පුළුවන්. වඩා සංවිධානාත්මක ලෙසට කරන්නට අවශ්‍ය නම් අලෙවියට ඇති භාණ්ඩ හා ඒවායේ මිල ගණන් සහිත පොතක්, පත්‍රිකාවක් කල් ඇති ව ලබා දුන්නොත් ගනුදෙනුකරුවන්ට ඒ ඒ භාණ්ඩ අවශ්‍ය ප්‍රමාණයට දුරකතනයෙන් ඇණවුම් කරන්නට පුළුවන්.

 

මෙය සාර්ථකවන්නට නම් පොරොන්දුවන වෙලාවට නියමිත ප්‍රමිතියේ භාණ්ඩ ලබා දීමට වග බලා ගත යුතුයි.

 

ගෙදරට පැමිණ දරුවන් බලා ගැනීම අමෙරිකාව වැනි බටහිර රටවල බොහෝ තරුණියන් ඉගෙන ගන්නා කාලයේ අමතර ආදායමක් ලබා ගන්නට යොදා ගන්නා ක්‍රමයක්. මෙසේ තාවකාලික ව දරුවන් බලා ගැනීමේ නියුක්තව සිටි එක් සිසුවියක් තමන් සේවය කළ සෑම ගෙදරකම තම දුරකතන අංකය හා නම පැහැදිලිව සටහන් කරන ලද මේසයක් මත තැබිය හැකි කුඩා සමරුවක් තිළිණ කර යෑමට පටන් ගත්තා. එවිට යළි ඇගේ සේවය වුවමනා වූ විට එම දුරකතනයට ඇමැතීමට සේවා ලාභීන් පුරුදු වුණා පමණක් නොව මේ බව තම නිවෙස්වලට පැමිණෙන අමුත්තන්ට පවා දැනුම් දුන්නා. දැන් එය විශාල ව්‍යාපාරයක් බවට පත් ව තිබෙනවා. විදුලි, පයිප්ප වැනි අලුත්වැඩියා කටයුතු කරන අයටත් තම දුරකතන අංකය ගනුදෙනුකරුවන්ට ලබා දීමෙන් ව්‍යාපාර වර්ධනය කර ගන්න පුළුවන්. දැන් ජංගම දුරකතන තිබෙන නිසා මෙය වඩාත් සාර්ථකව කරන්නට පුළුවන්. නමුත් එවිට ගනුදෙනුකරුවකුගෙන් පණිවුඩයක් ලබා ගත් විට පහසු ලෙසකින් පිළිතුරු දෙන්න පුළුවන්.

 

දුරකතන භාවිතය ප්‍රචලිතවීම හමුවේ දුරකතනය භාවිතයෙන් ව්‍යාපාර වර්ධනය කර ගැනීම අවධානයට ලක්විය යුතුමයි. දුරකතන විකිණීමේ උපක්‍රමයක් ලෙස යොදා ගැනීම මෙයට වඩා සංකීර්ණයි. දුරකතනය භාවිතයෙන් විකිණීම වඩාත් හොඳින් සිදුකළ හැක්කේ ආයතනයන්ට, ව්‍යාපාරික ස්ථානයන්ට භාණ්ඩ හා සේවා විකිණීමට. ගෙදර සිටින වෙලාවන්හිදී ව්‍යාපාරික සංවාදයකට සහභාගිවීමට වඩා කාර්යාල වේලාව තුළ එවැන්නකට ඇති ඉඩ වැඩියි. එලෙස කීවද දිවා කාලයේ විවේකයෙන් සිටින පුද්ගලයකු දුරකතනයෙන් කෙරෙන අලෙවි යෝජනාවකට කැමැති වන්නට තිබෙන ඉඩ වැඩියි.

 

දුරකතන භාවිතයෙන් සක්‍රියව විකිණීමෙහි යෙදෙන්නට බලාපොරොත්තුවන තැනැත්තා ඒ සඳහා සැළකිල්ලකින් සූදානම් විය යුතුයි.

 

01. ඉලක්ක ආයතනය හා අදාළ පුද්ගලයන් හඳුනාගැනීම.

 

02. හඳුනාගත් පුද්ගලයාට ඇමැතීමට සුදුසුම වෙලාව හඳුනාගැනීම.

 

03. ඇමැතුමේ පළමු තත්පර කිහිපය තුළ යම් ප්‍රතිලාභයක් ඉලක්ක ගනුදෙනුකරුවාට ඉදිරිපත් කිරීම.

 

04. කාර්යක්ෂම ලෙස සංවාදය පවත්වාගෙන යෑම.

 

05. එය විකුණුම් සමාප්තියකින් හමාර කර ගැනීම.

 

මේ සඳහා තමන් කළ යුතු කතාබහ හොඳින් පිළියෙල කර ගත්තක් විය යුතුයි. භාවිත කරන වචන හා රිද්මය ප්‍රතිඵලදායක එකක් විය යුතුයි. බොහෝ විට කලින් පිළියෙල කරගත් වාග් මාලාවක් පාවිච්චි කිරීම වඩා සුදුසුයි.

 

'මහත්තයා මා කතා කරන්නේ.......... ලිපිද්‍රව්‍ය සැපයීම් සමාගමෙන්. ඔබේ ආයතනයේ ලිපිද්‍රව්‍ය විදයම අඩු කර ගැනීමේ ක්‍රමයක් ගැන දැනගන්න ඔබ කැමැති ද?'

 

'එසේ නම් මේ ඊට සුදුසු වෙලාවක් ද?'

 

වැනි උපක්‍රමශීලී වදන් වැල් ප්‍රතිඵලදායකවන්නට පුළුවන්.

 

මෙසේ දුරකතනයෙන් ඉලක්ක ගනුදෙනුකරුවන් අමතා විකිණීමේ යෙදීම දැන් දියුණු රටවල ශීඝ්‍රයෙන් ප්‍රචලිත වනවා. එහි ප්‍රධාන ප්‍රයෝජන නම් අඩු වියදම හා සාමාන්‍යයෙන් මුණ ගැසිය නොහැකි පුද්ගලයන්ට පවා ඇමැතීමට ඉඩක් ලැබීම.

 

ටෙලිෆෝනය තම අලෙවි ක්‍රියාවලියේ එක් වැදගත් උපාංගයක් ලෙස භාවිත කරන්නේ නම් ඊට සම්බන්ධ සියලු දෙනා ඒ පිළිබඳ මනා පුහුණුවක් ලබාගත් අය විය යුතුයි. පුහුණුව ද නිරන්තරව ලබා ගන්නා එකක් විය යුතුයි.

 

එමෙන්ම ඇමැතුම් පිළිගන්නියක් නැති විට පණිවුඩ ලබා ගන්නා යන්ත්‍රයක් පාවිච්චි කිරීම යෝග්‍යයි. දැන් මෙය පෞද්ගලික පරිගණක භාවිතයෙන් ද කරන්නට පුළුවන්. නමුත් එවැනි යන්ත්‍රයක සටහන්වන පණිවුඩවලට ඉක්මන් ප්‍රතිචාර ලබා දීම ඉතා වැදගත්. දුරකතනය අලෙවි හා පාරිභෝගික සේවා සැපයීමේ ඉහළ තලවලට යෑමක් දැන් දක්නට පුළුවන්. ටෙලි බෑංකින් සේවාව වැනි පහසුකම් පටන් අන්තර් ජාලයේ වෙබ් අඩවියේ සිට දුරකතනයට සම්බන්ධවීම දක්වා දැනටම මෙය ව්‍යාප්ත වී තිබෙනවා.

Rate this item
(0 votes)