May 04, 2024

වර්ධනයවන ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික පරිසරය

December 24, 2014

ව්‍යාපාර පවත්වාගෙන යෑම පිළිබඳ දර්ශකය ව්‍යාපාරික පරිසරයෙහි විවිධ පැතිකඩ ව්‍යාපාරික කාර්යය කර ගැනීමට ගතවන කාලය සහ කාර්යාවලිය මත පදනම්ව ඇගයුම් කරයි. මෙම විවිධ පැතිකඩවල එකතුවෙන් නිර්මාණයවන සංයුක්ත මිනුමක් මගින් ව්‍යාපාර කරගෙන යෑමට ඇති පහසුව මත පදනම්ව රටවල් ශ්‍රේණිගත කරයි.

 

පසුගිය වසර තුළ ශ්‍රී ලංකාව මෙම දර්ශකය තුළ ස්ථාන 06 කින් සිය ශ්‍රේණිය වර්ධනය කර ගනිමින් 99 ස්ථානයේ පසු වූ අතර ආසියා පැසිෆික් කලාපය තුළ 15 වැනි ස්ථානය අත්කර ගෙන ඇත. 2015 අයවැය කතාවේ දක්වා ඇති ආකාරයට ආසියා ශාන්තිකර කලාපය තුළ මුල් රටවල් 10 අතරට පැමිණීම සඳහා ශ්‍රී ලංකාව අවම වශයෙන් දර්ශකයේ දැනට පවතින ස්ථානයේ සිට ස්ථාන 11ක් වත් ඉදිරියට පැමිණිය යුතු වේ.

 

මෙම විශ්ලේෂණය විසින් මෙම ඉලක්කය සපුරා ගැනීම සඳහා අනුගමනය කළ යුතු උපායමාර්ගයන් පියවර තුනක් යටතේ ඉදිරිපත් කරයි. එනම්,

 

(1) කාන්දුවීම් වළක්වා ගැනීම.

 

(2) පහසුවෙන් දියුණු කරගත හැකි අංශ කෙරෙහි අවධානය යොමු කිරීම.

 

(3) දුබලතම අංශය සඳහා අවධානය යොමු කිරීම.

 

කාන්දු වීම වළක්වා ගැනීම

 

මෙම දර්ශකය තුළ වර්ධනයක් අත්කර ගැනීමට අනුගමනය කළ යුතු පළමු පියවරවන්නේ දැනට හොඳ කාර්යසාධනයක් පවතින අංශවලින් ලැබෙන වාසිදායක තත්ත්වය ආරක්ෂා කර ගැනීමයි. එනම් දර්ශකයේ විවිධ කොටස්වල පිරිහීම වළක්වා ගනිමින් වර්තමාන ස්ථානය රැක ගැනීමයි. ශ්‍රී ලංකාව 2015 දී දර්ශකය තුළ පෙර වසරට සාපේක්ෂ ප්‍රගතියක් අත්කර ගැනීමට සමත් වුව ද එහි අනුඛණ්ඩ 06ක් තුළ පසු බැසීමකට ලක් වී ඇත. (ප්‍රදර්ශිතය 01) ඒ අනුව 2015 දී මෙහි සමස්ත වර්ධනය සඳහා ප්‍රධාන දායකත්වය සැලසුණේ අනුඛණ්ඩ කිහිපයක් තුළ සිදු වූ සුවිශාල ප්‍රගතියෙනි.

 

උදාහරණයක් ලෙස ශ්‍රී ලංකාව දේශසීමාවන් හරහා වෙළෙඳාම් කිරීම යන අනු ඛණ්ඩය තුළ ස්ථාන 16ක වර්ධනයක් ලබා ගනිද්දී දේපළ ලියාපදිංචි කිරීම යන අංශයෙහි ස්ථාන 07ක පසුබැසීමකට ලක් වී ඇත. (මෙය දර්ශකය තුළ ශ්‍රී ලංකාව පෙන්වන ලද දරුණුම පසුබෑමයි)

 

මෙම දර්ශකය තුළ ශ්‍රේණිය රැක ගැනීම ධාවන තරගයක ධාවකයකු සිය ස්ථානය රැකගැනීමට සමාන වේ. ඒ අනුව අනෙකුත් රටවල් අත් කරගන්නා ප්‍රගතියට සාපේක්ෂ ව සිය තරගකාරිත්වය වර්ධනය කර ගැනීම තුළින් පමණක් ශ්‍රී ලංකාවට දර්ශකය තුළ සිය ශ්‍රේණිය රැකගත හැකි වේ.

 

මේ අනුව පසුබෑමක් සිදු වූ අංශ පමණක් නොව පසුගිය වර්ෂ තුළ නොවෙනස් ව පැවැති අංශයන් ද පසුගාමී බවට පත්වීමේ අවදානමක පසු වේ. (ප්‍රදර්ශිතය 01). මේ අනුව අවධානය යොමුවිය යුතු පළමු කරුණුවන්නේ ඉහත සඳහන් අංශයන් වර්ධනය කිරීම සඳහා පියවර ගැනීමයි.

 

පහසුවෙන් වර්ධනය කරගත හැකි අංශ කෙරෙහි අවධානය යොමු කිරීම

 

අවධානය යොමුවිය යුතු දෙවැනි කරුණුවන්නේ පහසුවෙන් වර්ධනය කරගත හැකි අංශ තෝරා ගැනීමයි. ආරම්භයක් ලෙස ශ්‍රී ලංකාව දැනට අඩු ශ්‍රේණියක මට්ටම් ලබා තිබෙන අනු අංශ සඳහා අවධානය යොමු කළ හැකි ය. ප්‍රදර්ශිතය 02 මගින් ශ්‍රී ලංකාව ව්‍යාපාර පවත්වාගෙන යෑම පිළිබඳ දර්ශකයෙහි විවිධ අනු අංශ තුළ ලබා ඇති ශ්‍රේණි මට්ටම් දක්වා තිබේ. ඒ අනුව පෙනී යන්නේ ශ්‍රී ලංකාව විශේෂයෙන්ම ගිවිසුම් බලාත්මක කිරීම, බදු ගෙවීම සහ දේපොල ලියාපදිංචි කිරීම යන අංශ තුළ දුර්වල කාර්යය සාධනයක් පෙන්වා ඇති බවයි. 

 

මේ අනුව පහසුවෙන් වර්ධනය කරගත හැකි අංශ දෙකක් හඳුනාගත හැකි ය. ඉන් පළමු අංශයවන්නේ බදු ගෙවීමයි. ව්‍යාපාර පවත්වාගෙන යෑම පිළිබඳ දර්ශකය හා සබැඳි අය-වැය සමාකෘතිය ඇස්තමේන්තුවලින් දැක්වෙන ආකාරයට සේවා නියුක්තිකයන්ගේ භාරකාර අරමුදල, ජාතිය ගොඩනැඟීමේ බද්ද සහ එකතු කළ අගය මත බද්ද සඳහා කරන ගෙවීම් මාසිකව වෙනුවට තෛමාසික ව සිදු කිරීමට ඉඩ ලබාදීම තුළින් මෙම දර්ශකය තුළ ශ්‍රී ලංකාවේ ශ්‍රේණිය ස්ථාන 10කින් පමණ ඉදිරියට ගෙන ආ හැකි වේ. (අනෙකුත් ක්‍ෂේත්‍රයන් නොවෙනස් ව පවතී යන උපකල්පනය මත පිහිටා) ප්‍රයිස්වෝටර්හවුස්කූපර්ස් ආයතනයේ ඇස්තමේන්තුවලට අනුව බදු ගෙවීමේ චක්‍රය මාසික ක්‍රමයේ සිට තෛමාසික ක්‍රමයක් දක්වා වෙනස් කිරීම තුළින් බදු ගොනු කිරීම සඳහා ගතවන කාලය 35%කින් පමණ අඩුකරගත හැකි ය. මෙවැනි ප්‍රතිසංස්කරණයක් පහසුවෙන් සිදුකළ හැකි ය. පසුගිය අවුරුදු කිහිපය තුළ බුරුන්දි, රුවණ්ඩාව, පැනමා, රුමේනියාව, ඇල්බේනියාව සහ නැගෙනහිර ටිමෝරය යන රටවල් මෙම තෛමාසික බදු ගෙවීමේ ක්‍රමවේදය ස්ථාපිත කොට ඇත.

 

පහසුවෙන් වර්ධනය කළ හැකි දෙවැනි අංශය තුළ ද ඉතා වෙනස්කම් කිහිපයක් ඇති කිරීම තුළින් විශාල වෙනසක් අත්කරගත හැකි වේ. එනම් ආනයන අපනයන සඳහා භාවිත කරන ආකෘති ගණන දැනට පවතින පත්‍රිකා 07 ප්‍රමාණයේ දින 3ක් දක්වා අඩු කිරීම තුළින් සිංගප්පූරුව හා කොරියාවේ පවතින මට්ටමට ගෙන ආ හැකි අතර එමගින් මෙම දර්ශකය තුළ ශ්‍රී ලංකාවේ ශ්‍රේණිය ස්ථාන 03කින් ඉදිරියට ගෙන ආ හැකි වේ.

 

වඩාත් දුර්වල අංශයන් කෙරෙහි අවධානය යොමු කිරීම

 

බොහෝ අවස්ථාවලදී වඩාත් ප්‍රබලම සාධකය මෙන්ම දුබලම සාධකයත් එක ලෙස වැදගත් වේ. ඒ අනුව වඩාත් දුර්වල අංශය හඳුනාගෙන එය වර්ධනය කිරීම සඳහා කටයුතු කිරීම ව්‍යාපාරික පරිසරය වැඩිදියුණු කිරීමට ඉතා වැදගත් වේ.

 

ව්‍යාපාර පවත්වාගෙන යෑමේ දර්ශකය තුළ උපරිම කාර්යසාධනය පිළිබිඹු කෙරෙන පර්යන්ත සීමාවන් සහිත මිනුමක් ද භාවිත වේ. මෙහි දී දර්ශකයේ විවිධ අනු අංශ තුළ ඉහළම කාර්ය සාධනයක් දක්වන රටට සාපේක්ෂ ව අනෙකුත් රටවල කාර්යය සාධනය මැන දැක් වේ. ඒ අනුව යම් අනු අංශක පළමුවැනි ස්ථානයට පත්වන රටට සාපේක්ෂ ව අනෙකුත් රටවල ශ්‍රේණිය පමණක් නොව ලකුණු මට්ටම් අතර ද කොපමණ පරතරයක් තිබේ ද යන්න පිළිබඳ අවබෝධයක් ලබාගත හැකි ය. අඩු ශ්‍රේණි මට්ටමක් පවතින අවස්ථාවක දී වුව ද ඉදිරියෙන් සිටින රටවල් සමග පවතින ලකුණු පරතරය අඩු මට්ටමක පැවැතීම (එනම් රටවල් සියල්ල එකිනෙක හා ලකුණු පරතරය අඩු මට්ටමක පැවැතිය හැකි ය) හෝ ඉතාමත් ඉහළ ලකුණු පරතරයක් සමග පිටුපසින් සිටීම සිදුවිය හැකි ය.

 

මෙම මිනුම් දණ්ඩ මත පිහිටා බලන විට ගිවිසුම් බලාත්මක කිරීම, ණය පහසුකම් ලබා ගැනීම සහ බුන්වත්භාවයන් බේරුම් කිරීම යන අංශ තුළ ශ්‍රී ලංකාව පසුගාමී තලයක පසුවේ. සාපේක්‍ෂ මිනුම් (ප්‍රදර්ශිතය 01) සහ නිරපේක්ෂ මිනුම් දණ්ඩ යන අවස්ථා දෙකෙහිදීම දුර්වල කාර්යසාධනයක් දක්වා ඇත්තේ ගිවිසුම් බලාත්මක කිරීම යන අනු අංශයයි. (ප්‍රදර්ශිතය 02). මේ කෙරෙහි අවධානය යොමු කිරීම ඉතා වැදගත් වන්නේමෙම දුර්වලතාව මගින් ආයෝජකයන් දෙගිඩියාවට පත්වීම පසුගාමීවීමට ඉඩකඩ පවතින බැවිනි. ගිවිසුම් බලාත්මක කිරීම සම්බන්ධව දක්වන පසුගාමී බව දර්ශකයෙහි අනෙකුත් අංශ කෙරෙහි ද බලපෑමක් සිදුකළ හැකි ය. (ණය පහසුකම් ලබාගැනීම සහ බුන්වත්භාවයන් බේරුම් කිරීම වැනි අංශ). ශ්‍රී ලංකාවේ නෛතික ප්‍රතිසංස්කරණයන් සිදුකිරීම පහසුවෙන් හා ඉක්මනින් කළ හැකි කටයුත්තක් නොවූව ද එය ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික පරිසරය දියුණු කිරීම සඳහා අත්‍යවශ්‍ය මෙන්ම තීරණාත්මක සාධකයක් ලෙස බලපායි. මෙම අංශය තුළ සිදුකරන ප්‍රතිසංස්කරණ මගින් විස්මයජනක ප්‍රතිඵල ළඟාකර ගත හැකි ය. උදාහරණයක් ලෙස ගිවිසුම් බලාත්මක කිරීම සඳහා ශ්‍රී ලංකාව තුළ දැනට දින 1,318 ක පමණ කාලයක් ගතවන අතර එය ආසියා ශාන්තිකර කලාපයේ සාමාන්‍ය වන දින 553ක් දක්වා අඩුකර ගත හැකි නම් දර්ශකය තුළ ශ්‍රී ලංකාවේ ශ්‍රේණිය ස්ථාන 15කින් පමණ ඉදිරියට ගෙන ආ හැකි වේ. එමගින් දර්ශකයෙහි අනෙකුත් උප අංශයන් වර්ධනය කර ගැනීමට ද උත්තේජනය සැපයේ.

 

ශ්‍රේණිගත කිරීමේ ඉහළින්ම සිටිනා රටවල් 10 අතරට පැමිණීම සඳහා  ප්‍රමුඛතාවයන් ත්‍රිත්වය

 

මෙම විශ්ලේෂණය මගන් ශ්‍රී ලංකාවට ව්‍යාපාර පවත්වාගෙන යෑම පිළිබඳ දර්ශකය තුළ ආසියා පැසිෆික් කලාපයේ ශ්‍රේණිගත කිරීමේ ඉහළින්ම සිටිනා රටවල් 10 අතරට පැමිණීම සඳහා අනුගමනය කළ යුතු වන ඵළදායී පියවර 03 ක් හඳුන්වා දී තිබේ. මෙම පියවර තුනෙහි එක් අංශය මගින් වර්ධනය කිරීමෙන් පවා විස්මයජනක ප්‍රතිඵල ලබා ගත හැකි ය. එනම්,

 

(1) කාන්දුවීම් වැළැක්වීම යන පියවර තුළින් දේපළ ලියාපදිංචි කිරීමේ අපහසුතා අවම කිරීම,

 

(2) පහසුවෙන් වර්ධනය කරගත හැකි අංශ කෙරෙහි අවධානය යොමු කිරීම යන පියවර තුළ 'බදු ගෙවීමේ සංඛ්‍යානය වෙනස් කිරීම

 

(3) වඩාත් දුර්වල අංශයන් කෙරෙහි අවධානය යොමු කිරීම

 

යන පියවරට අනුව 'ගිවිසුම් බලායනය කිරීමේ දී නෛතික ක්‍රමය වඩාත් ඉක්මනින් ක්‍රියාත්මකවන ලෙසට ක්‍රමවේදයන් සැකසීම' දැක්විය හැකි ය.

Rate this item
(0 votes)