May 05, 2024

Business Plan එකක් හදන හැටි

December 19, 2014

නව ව්‍යාපාරයක් ආරම්භයේ දී සහ දැනට තිබෙන ව්‍යාපාරය සංවර්ධනය උදෙසා මුල පිරීමේ දී වැදගත්වන කරුණු කිහිපයක් පිළිබඳ අවධානය යොමු කිරීමේ දී නව ව්‍යාපාරයක් ආරම්භ කිරීමේදී ද දැනට පවත්වාගෙන යන ව්‍යාපාරයට අලුත් ශාඛාවක් එකතු කිරීමේදී ද වෙනත් භාණ්ඩ වර්ගයක් එකතු කිරීමේ දී ව්‍යාපාරික සැලැස්මක් පිළියෙළ කරගත යුතු ය. ඒ අනුව

 

නව ව්‍යාපාරයක් ආරම්භ කිරීමේ දී

 

දැනට පවත්වාගෙන යන ව්‍යාපාරයට අලුත් ශාඛාවක් එකතු කිරීමේ දී

 

වෙනත් භාණ්ඩ වර්ගයක් එකතු කිරීමේ දී

 

ව්‍යාපාරික සැලැස්මක් පිළියෙළ කරගත යුතු ය

 

ව්‍යාපාර හිමියාට සැලසුමකින් ඇති ප්‍රයෝජන අසීමිත ය. සුළු ව්‍යාපාරිකයකුට මෙවැනි වාර්තාවක් පිළියෙළ කිරීම තරමක් දුෂ්කර කාර්යයක් විය හැකි ය. එම නිසා අවශ්‍යතාව අනුව අදාළ උපදේශකයකුගේ ආධාර ලබාගත හැකි ය. මෙහි දී ඇති වැදගත් කරුණ නම් තමා ආරම්භ කිරීමට බලාපොරොත්තුවන නව ව්‍යාපාරය පිළිබඳ මනා අවබෝධයක් සහ පූර්ව දැක්මක් ලබා ගැනීමයි. එහි දී පරිසරයේ අවශ්‍යතාවන්ට අනුව තමාගේ ව්‍යාපාරය අවශ්‍ය පරිදි වෙනස් කර ගැනීමට පුළුවන්.

 

ව්‍යාපාරික සැලැස්මක් තුළින් ව්‍යාපාරයට ණය දීම හෝ වෙනත් ක්‍රමයකින් ආයෝජනය කිරීමට බලාපොරොත්තුවන බැංකුවලට හෝ වෙනත් මූල්‍ය ආයතනවලට ද ව්‍යාපාරය ගැන නියම අවබෝධයක් ලබා ගැනීමට පුළුවන්. නව ව්‍යාපෘතිය පිළිබඳ නොයෙක් ආකාරයේ බදු හෝ වෙනත් සහන බලාපොරොත්තුවන ආයතනයක් සඳහා අවශ්‍යවන ඉල්ලුම් පත්‍ර පිළියෙළ කිරීමේ දී මෙහි ඇතුළත්වන තොරතුරු ප්‍රයෝජනයට ගත හැකි නිසා තම කාර්යයන් නොපමාව අවසන් කර ගැනීමට ද හැකි ය.

 

ව්‍යාපාරික සැලැස්මක ඇතුළත් විය යුතු කරුණු, සලක බැලීමේ දී ප්‍රධාන වශයෙන් වර්ග 05 කට බෙදිය හැකි ය.

 

1. ව්‍යාපාරය පිළිබඳ හැඳින්වීම

 

2. අලෙවි සැලැස්ම

 

3. කළමනාකාරීත්ව සැලැස්ම

 

4. මූල්‍ය සැලැස්ම

 

5. තාක්‍ෂණික ඇගයීමක්

 

2. ව්‍යාපාරය හැඳින්වීම

 

සුළු ව්‍යාපාරිකයකු ප්‍රථමයෙන් දැනගත යුතු කරුණ නම් තමා කිරීමට බලාපොරොත්තුවන ව්‍යාපාරය කුමක් ද යන්නයි. මෙහි දී වැදගත්වන්නේ තමා ආරම්භ කිරීමට බලාපොරොත්තුවන ව්‍යාපාරයෙහි ඇති විශේෂ ලක්‍ෂණ සැලැස්මට ඇතුළත් කිරීමයි. හැඳින්වීම තේරුම් ගැනීමේ පහසුව සඳහා කොටස් කිහිපයකට බෙදමු.

 

1.1 ව්‍යාපාරයේ අයිතිය

 

සෑම ව්‍යාපාරයක් සඳහාම අයිතිකරුවෙක් සිටියි. ශ්‍රී ලංකා නීති ව්‍යුහයට අනුව ඒ අයිතිය පහත සඳහන් පරිදි ලියාපදිංචි කළ හැකි ය.

 

තනි පුද්ගල ව්‍යාපාරය (කේවල ව්‍යාපාර)

 

හවුල් ව්‍යාපාරය (කොටස්කරුවන් දෙදෙනකුගේ සිට විස්සක් දක්වා)

 

සමාගම් (සමාගම් පෞද්ගලික හෝ පොදු සමාගම් වශයෙන් ලියාපදිංචි කළ හැකි ය.

 

සමුපකාර සමිති

 

පාර්ලිමේන්තුවේ සම්මත නීතියක් යටතේ පිහිටුවා ඇති සංස්ථා

 

ව්‍යාපාරය ඒකපුද්ගල ව්‍යාපාරයක් නොවේ නම් එම ව්‍යාපාරයට හිමි ප්‍රධාන කොටස්කරුවන් හෝ අධ්‍යක්‍ෂවරු පිළිබඳ කෙටි විස්තරයක් ඇතුළත් කළ යුතු ය. ව්‍යාපාර හිමියා තනි පුද්ගලයෙක් නම් ඔහු ගැන විස්තරයක් ද ඇතුළත් කළ යුතු ය.

 

1.2 ව්‍යාපාරයේ ස්වභාවය

 

ව්‍යාපාරික කටයුතු අනුව සෑම ව්‍යාපාරයක්ම වර්ග කරයි.

 

නිෂ්පාදනය

 

වෙළෙඳාම

 

සේවා සැපයීම

 

වෙනත් (ගොඩනැගිලි ඉදිකිරීම)

 

ආදී වශයෙන් අවශ්‍යතා අනුව වර්ග කිරීමට හැකි ය. මෙහි දී අවශ්‍යවන්නේ නව ව්‍යාපාරයේ නියම ස්වභාවයයි. එය ව්‍යාපාර සැලැස්ම කියවන පුද්ගලයා හට තේරුම් ගැනීමට පහසු විය යුතු ය. සංඛ්‍යා ලේඛන කටයුතු සඳහා ව්‍යාපාර පිළිබඳ පිළිගත් වර්ග කිරීමේ ක්‍රමයක් ද ඇත.

 

1.3 ව්‍යාපාරයට සම්බන්ධ භාණ්ඩ

 

ඉහත සඳහන් කොටසෙහි වර්ග කිරීමට අනුව ව්‍යාපාරය නිෂ්පාදන ව්‍යාපාරයක් නම් නිෂ්පාදනය කරනු ලබන භාණ්ඩය කුමක් ද යන්න විස්තර කිරීම අවශ්‍ය වේ.

 

බෝට්ටු හෝ ආහාර ද්‍රව්‍ය නිෂ්පාදනය කරන ව්‍යාපාරයක් නම් එම නිෂ්පාදන භාණ්ඩය ගැන තේරුම් ගැනීමට අවශ්‍යවන සියලුම තොරතුරු මෙහි ඇතුළත් කළ යුතු ය. මෙහි දී ඔබ අලෙවි කිරීමට බලාපොරොත්තුවන භාණ්ඩය පාරිභෝගිකයාට උපකාරවන අන්දම පිළිබඳ විස්තරයක් ද සැපයීම අවශ්‍ය ය.

 

1.4 ව්‍යාපාරයේ පිහිටීම

 

ව්‍යාපාරික ආයතනවල සාර්ථක භාවයට පිහිටීම බොහෝ දුරට බලපානු ඇත. මෙහි දී විදුලිය, ජලය, ප්‍රවාහන පහසුකම් සහ වාහන නැවැත්වීමට ඇති ඉඩකඩ පිළිබඳ සිතිය යුතු ය. නිමි ඇඳුම් විකුණන ව්‍යාපාරික ආයතනයක් නම් එය පිහිටුවිය යුත්තේ වැඩි වශයෙන් ජනයා ගැවසෙන ස්ථානයක ය. නමුත් නිමි ඇඳුම් කර්මාන්ත ශාලාවක් පිහිටුවීමේ දී ඊට වඩා සැළකිලිමත්ව උචිත ස්ථානයක් තෝරාගත යුතු ය.

 

1.5 ව්‍යාපාරයේ ආරම්භය

 

අලුත් ව්‍යාපාරයක් නම් එය ආරම්භ කිරීමට බලාපොරොත්තුවන වකවානුව සඳහන් කළ යුතු ය. දැනට පවත්තා ව්‍යාපාරයකට වෙනත් භාණ්ඩ වර්ගයක් එකතු කිරීම හෝ අලුත් ශාඛාවක් විවෘත කිරීම පිළිබඳ හෝ පිළියෙළවන වාර්තාවක මුල් ව්‍යාපාරය ආරම්භ කළ දිනය සහ එහි දියුණුව ද ඇතුළත් කිරීම ප්‍රයෝජනවත් ය.

 

ඔබගේ ව්‍යාපාරය පිළිබඳ වෙනත් වැදගත් තොරතුරු ද මෙහි සඳහන් කිරීම අවශ්‍යය. ඒවායින් සමහරක් නම් ඔබ හා අදාළ ව්‍යාපාරයට ඇති සම්බන්ධතාව හෝ ඒ ව්‍යාපාරය පිළිබඳ ඔබගේ පළපුරුද්දත් නව ව්‍යාපාරය අනෙකුත් ව්‍යාපාරවලට වඩා වෙනස් වන්නේ කෙසේ ද යන්නත් ගැන ද සඳහන් කළ හැකි ය.

 

2. අලෙවි සැළසුම

 

අලෙවි සැලැසුම් පිළියෙළ කිරීමේ මූලික අරමුණ නම් ව්‍යාපාරය ලාභදායී අන්දමින් පවත්වාගෙන යෑම සඳහා අලෙවි කළ යුතු ප්‍රමාණයත් බලාපොරොත්තුවන මිල ගණන්වලට ඒ ඒ කාලසීමාවන් තුළ දී අලෙවි කළ හැකි ආකාරය විස්තර කිරීමත් ය.

 

ඉහත සඳහන් අරමුණු ඉටුකර ගැනීම සඳහා අවශ්‍ය උපාය ධර්ම පිළියෙළ කරගැනීමට ද උපකාරවන පහත සඳහන් තොරතුරු අලෙවි සැළසුමට ඇතුළත් කළ යුතු ය.

 

2.1 භාණ්ඩය පිළිබඳ විස්තර

 

අලෙවි කිරීමට බලාපොරොත්තුවන භාණ්ඩවලට අමතරව තමා අලෙවි කරන භාණ්ඩය දැනට වෙළෙඳපොළේ ඇති භාණ්ඩවලට වඩා වෙනස්වන ආකාරයත් ඒ මගින් තම භාණ්ඩ පාරිභෝගිකයන්ගේ අවශ්‍යතාවන් වඩා වැඩි සතුටුදායක ආකාරයකට පිරිමැහෙන බවත් කියවන්නාට තේරුම් ගැනීමට පහසු ආකාරයකින් විස්තර කළ යුතු ය.

 

2.2 පාරිභෝගිකයා කවු ද?

 

ඔබගේ භාණ්ඩය අලෙවි කිරීමට බලාපොරොත්තු වන පාරිභෝගිකයා කවුද යන්න ඉතා හොඳින් විග්‍රහ කළ යුතු ය. ඔහුගේ හෝ ඇයගේ වයස, ආදායම් මට්ටම, මිල දී ගැනීමේ රටාව වැනි දේවලට අමතර ව ඔහු භාණ්ඩය භාවිත කරන පරිසරය ගැන ද අවශ්‍ය නම් විස්තර කළ යුතු ය.

 

සඳහන් කළ යුතු තවත් කරුණක් නම් ඔබගේ පාරිභෝගිකයන් වෙන් වෙන් වශයෙන් කොටස් කළ හැකිද යන්නයි. ව්‍යාපාරය එළවළු විකිණීම නම් විකිණීමට බලාපොරොත්තුවන්නේ ගෘහණියන්ට ද සිල්ලර වෙළෙන්දන්ට ද නැතහොත් කෑම පිළියෙල කර අලෙවි කරන කම්හල්වලටද යන්න ගැන විග්‍රහයක් අවශ්‍ය ය.

 

ඔබ භාණ්ඩයේ පරිභෝජනය වෙනස්වන රටාව කුමක් ද යන ප්‍රශ්නයට පිළිතුරු සැපයීම ඉතා ප්‍රයෝජනවත් විය හැකි ය. පාසල් පොත් වැනි භාණ්ඩවලට ඇති ඉල්ලුම පාසල් ආරම්භයත් සමගම වෙනස්වන ආකාරයක් දැකිය හැකි ය. මෙලෙසින්ම සුරුට්ටු භාවිතය ක්‍රමයෙන් අඩු වෙමින් පවත්නා ප්‍රවණතාවක් සමාජයේ දැකිය හැකි ය.

 

භූගෝලීය වශයෙන් ඔබගේ භාණ්ඩ පිළිබඳ වෙළෙඳ ප්‍රදේශය පුළුල් කිරීමට ඇති හැකියාවන් හෝ දුෂ්කරතාවන් ද සැලකිල්ලට ගෙන භාජන කළ යුතු ය.

 

2.3 තරගකාරීත්වය

 

ඊළඟට ඔබ විස්තර කළ යුත්තේ තරගකාරිත්වයයි. මෝටර් රථවලට අවශ්‍ය ඉන්ධන භාණ්ඩයක් වශයෙන් ගතහොත් නගරයේ ඉන්ධන අලෙවිහලට තරගකාරිත්වය පැමිණෙන්නේ කිට්ටුවම ඇති අනෙක් ඉන්ධන හලකින් ය. එහෙත් ශ්‍රී ලංකාව එක් වෙළෙඳපොළක් වශයෙන් සැළකීමේ දී ඉන්ධන සැපයීම පිළිබඳ ඒකාධිකාරී තත්ත්වයක් දැකිය හැකි ය.

 

ඔබ ඇසිය යුතු තවත් ප්‍රධාන ප්‍රශ්නවලින් එකක් නම් මාගේ ප්‍රධාන තරගකරුවන් කවු ද යන්නයි.

 

2.5 ප්‍රචාරක සැලැස්ම

 

ඔබ අලෙවි කිරීමට බලාපොරොත්තුවන භාණ්ඩය හෝ සේවාව පිළිබඳ ඔබ බලාපොරොත්තුවන පාරිභෝගිකයන් දැනුවත් කරන ආකාරය කුමක් ද?

 

කොපමණ හොඳ භාණ්ඩයක් වුව ද එය මිලට ලබාගත හැකි ස්ථාන හෝ ආකාරය ගැන ගනුදෙනුකරුවන් දැනුවත් කිරීමකින් තොර ව ව්‍යාපාරයක් සාර්ථක විය නොහැකි ය.

 

බොහෝ දෙනෙක් පුවත්පත් හා ගුවන් විදුලිය වැනි මාධ්‍ය භාවිත කරමින් තම ව්‍යාපාරය ගැන සහ තමා අලෙවි කිරීමට බලාපොරොත්තුවන භාණ්ඩ ගැන මහජනයා දැනුවත් කරති. යම්කිසි ගිවිසුමක් යටතේ වෙනත් ආයතනයක් නිෂ්පාදනය කරන හෝ වෙනත් ආයතනයක බලපත්‍රයකට යටත්ව යම් භාණ්ඩයක් නිෂ්පාදනය කරන අවස්ථාවල දී එවැනි ආයතනවලින් ලැබෙන ප්‍රචාරක පහසුකම් ද සැලැසුමට ඇතුළත් කළ යුතු ය.

 

3. කළමනාකාරිත්වය සැලැසුම

 

අලුතින් ව්‍යාපාරයක් ආරම්භ කරන ව්‍යාපාරිකයකු හට තමාගේ ව්‍යාපාරයේ කළමනාකාරිත්ව කාර්යයන් ඉටුකර ගැනීම ඉතා දුෂ්කර කරුණක්වීම නොඅනුමාන ය. එම ප්‍රශ්න නිරාකරණය කිරීම සහ තම ව්‍යාපාරය සාර්ථකත්වය කරා ගෙන යෑම පිණිස අවශ්‍ය තොරතුරු එහි ඇතුළත් කළ යුතු ය.

 

ඔබගේ ව්‍යාපාරයේ වැදගත් තීරණ ගැනීම කවුරුන් විසින් කරනු ලැබිය යුතු ද යන්න ප්‍රථමයෙන් තීරණය කළ යුතු ය.

 

ඒ සඳහා අවශ්‍ය කළමනාකාරීත්ව කණ්ඩායමක් ඇති කිරීමත් ඒ කණ්ඩායමට ඇතුළත්වන පුද්ගලයන් කවුරුද යන්න ද ඉතා පැහැදිලිව විස්තර කළ යුතුය. ඊට අමතරව ව්‍යාපාරයේ නායකයා වශයෙන් කටයුතු කරන තැනැත්තා ගැන වැඩි විස්තරයක් ද ඔහුගේ හෝ ඇයගේ පළපුරුද්ද දැනුම සහ හැකියාවන් තම ව්‍යාපාරයට අදාළවන්නේ කෙසේ ද යන්න ඇතුළත් විය යුතු ය. ව්‍යාපාරයේ ප්‍රධාන කාර්යයන් සහ ඒ කාර්යයන් සඳහා යොදා ගන්නා පුද්ගලයන් ද ඒ පුද්ගලයන්ගේ සුදුසුකම් ද විස්තර කළ යුතු ය.

 

කළමනාකරණ උපදේශකයකු වශයෙන් යම්කිසි පුද්ගලයකු තෝරාගෙන ඇති නම් ඒ පුද්ගලයා හෝ ආයතනය ගැන ද විස්තරයක් කළමනාකාරිත්ව සැලැසුමට ඇතුළත් විය යුතු ය. කළමනාකාරිත්ව කාර්ය ඉතා ප්‍රබල විය යුතු ය. එහි ඇති විය හැකි අඩුපාඩු පිරිමසා ගන්නට සැලැසුම් පිළියෙල කළ යුතු ය. එම සැලැසුම් කිරීමේ දී ඇසිය යුතු ප්‍රශ්නය නම් අපේ අඩුපාඩු සම්පූර්ණ කරගත හැක්කේ කෙසේ ද? යන්නයි.

 

4. මූල්‍ය සැලැස්ම

 

ව්‍යාපාරයක් ආරම්භ කිරීමට හා පවත්වාගෙන යෑම සඳහා මුදල් අවශ්‍ය ය. එම මුදල් අවශ්‍යතාවන් නිශ්චය වශයෙන්ම තේරුම් ගෙන ඒ සඳහා ප්‍රතිපාදන සලසා ගැනීම මූල්‍ය සැලැස්මේ අරමුණයි.

 

4. 1 ආරම්භක වියදම්

 

ඔබ ව්‍යාපාරය ආරම්භ කිරීමට පෙර දැරිය යුතු වියදම් අසීමිතය. එම වියදම් ලැයිස්තු ගත කළ යුතු ආකාරයත් එක් එක් වියදමක් වෙනුවෙන් වෙන් කළ යුතු මුදල් ප්‍රමාණයත් හැකි තරම් ප්‍රවේශමෙන් ඇස්තමේන්තු කළ යුතුය.

 

ආරම්භ කිරීමේ වියදම්වලින් ප්‍රධානවන්නේ මේවා ය.

 

ව්‍යාපාරය ආරම්භයට පෙර දැරිය යුතු සියළු පෞද්ගලික වියදම්

 

ගිවිසුම් පිළියෙළ කිරීම සහ ලියාපදිංචි කිරීම වැනි නෛතික කටයුතු සඳහා වියදම්

 

ව්‍යාපාරික ස්ථානය සඳහා දැරිය යුතු වියදම්

 

ව්‍යාපාරයට අවශ්‍ය වාහන යන්තේ‍රා්පකරණ සහ ගෘහ භාණ්ඩ වැනි ස්ථාවර වත්කම්

 

රක්‍ෂණ

 

ප්‍රචාරක වැඩ කටයුතු

 

ගිණුම් කටයුතු

 

වැටුප් සහ වෙනත් දීමනා

 

වෙනත් සුළු වියදම්

 

මේ සියල්ල සඳහා දැරිය යුතු වියදම් හැකි තරම් පරෙස්සමෙන් පිළියෙළ කරගත යුතු ය. කොපමණ සැළකිල්ලකින් යුක්ත ව ඉහත සඳහන් ඇස්තමේන්තු කර ගැනීමෙන් පසුව වුව ද බලාපොරොත්තු නොවූ ආකාරයේ වියදම් සඳහා ඇස්තමේන්තු කළ වියදම්වලින් 10%ක් හෝ ඊට කිට්ටු ප්‍රමාණයක් වෙන් කිරීම මගින් තමාට හා ව්‍යාපාරයට ඇති විය හැකි අනාගත මූල්‍ය ප්‍රශ්න අඩුකර ගැනීමට පුළුවන.

 

4. 2 ව්‍යාපාරය පවත්වාගෙන යෑමේ වියදම්

 

ව්‍යාපාරය පවත්වාගෙන යෑමේ දී දැරීමට සිදුවන වියදම් ඉහත සඳහන් වියදම්වලට වඩා වෙනස් ය. ඒවා දැරීම නිසා ආදායමක් බලාපොරොත්තු විය හැකි ය.

 

එයින් වඩාත් වැදගත් වන වියදම් පහත සඳහන් ය.

 

නිෂ්පාදනයට අවශ්‍ය අමුද්‍රව්‍ය (නිෂ්පාදන ආයතනයක් සඳහා නම්)

 

විකිණීම සඳහා අවශ්‍ය බඩු තොග මිලට ගැනීම

 

වැටුප් සහ අර්ථසාධක අරමුදල්

 

රක්‍ෂණ ගාස්තු

 

ලිපිද්‍රව්‍ය, දුරකතන හා මුද්දර ගාස්තු වැනි වියදම්

 

බදු

 

ප්‍රචාරණය

 

ප්‍රවාහනය

 

ගිණුම් තැබීම සහ විගණනය

 

පොලී බැංකු ගාස්තු ආදිය

 

ව්‍යාපාරිකයා සඳහා අවශ්‍ය වැටුප් සහ වියදම්

 

වෙනත්

 

ඉහත සඳහන් කරන ලද වියදම් ප්‍රථම මාස 03 සඳහා සෑම මාසයක් වෙනුවෙන් ද ඉන්පසු තුන් මසක් හෝ සෑම 06 මසක් වැනි අවශ්‍ය කාලයක් සඳහා ද පිළියෙළ කරගත යුතු ය.

 

4.3 ලාභදායීත්වය

 

ආදායම් සහ වියදම් ඇතුළත් කර ප්‍රථමයෙන් මාසිකව සහ ටික කලක් ගත වනවිට මාස 03 කට වරක්වත් ව්‍යාපාරයේ ලාභදායීත්වය පිළිබඳ ලාභාලාභ ගිණුමක් ද මූල්‍ය සැලැස්මට ඇතුළත් විය යුතු ය.

 

4.4 ලාභාලාභ ගිණුම

 

ලාභාලාභ ගිණුමේ ඇතුළත් විය යුත්තේ අදාළ කාලය වෙනුවෙන් ලැබිය යුතු ආදායම් සහ ගෙවිය යුතු වියදම් ය.

 

ගෙවල් කුලී සහ වැටුප් වැනි වියදම් නිශ්චිත වශයෙන් ඇස්තමේන්තු කළ හැකි වුව ද අනෙකුත් වියදම් ඇස්තමේන්තු කිරීම දුෂ්කර ය. එමෙන් ම මෙහි දී අදාළ කාලයට නියමිත සියළු වියදම් ඇතුළත් විය යුතු ය. වැටුප් සඳහා ගෙවන අර්ථසාධක මුදල් උදාහරණයක් ලෙස ගතහොත් එය ගෙවිය යුතුවන්නේ වැටුප ගෙවූ මාසයට පසු මාසයේ දී වුව ද මාසයේ වියදම් අතරට එය ද එක් කළ යුතු ය. ආදායම් පිළිබඳ රීති ද මීට සමාන ය.

 

4.5 මුදල් ලැබීම් සහ ගෙවීම් (මුදල් ප්‍රවාහය)

 

ඉහත සඳහන් කාල පරිච්ඡේද සඳහා ව්‍යාපාරයට ලැබිය හැකි ආදායම ද සවිස්තරාත්මකව පිළියෙළ කරගත යුතු ය.

 

ඇතැම්විට ඔබේ ගනුදෙනුකරුවන් ගෙවීම් ප්‍රමාද කිරීමටත් ණයට බඩු මිල දී ගැනීමටත් අනාගත දින දමා චෙක්පත් දීමත් ව්‍යාපාරික ලෝකයේ නිතරම සිදුවන බැවින් ඔබගේ ආදායම් සහ වියදම්වලට අමතර ව මුදල් ලැබීම් සහ ගෙවීම් (මුදල් ප්‍රවාහය) පිළිබඳ වෙනම සැලැස්මක් ද පිළියෙල කළ යුතු ය.

 

4.6 මූල්‍ය අවශ්‍යතා

 

ව්‍යාපාරයට අවශ්‍ය ප්‍රාග්ධන අවශ්‍යතා ද මූල්‍ය සැලැසුමේ ඉතාමත්ම වැදගත් කොටස වශයෙන් හැඳින්විය හැකි ය. එය පහත සඳහන් අයුරින් පිළියෙළ කරගත හැකි ය.

 

ව්‍යාපාරික කටයුතු ආරම්භ කිරීමට පෙර දැරිය යුතු වියදම්වලට අමතර ව ව්‍යාපාරය පවත්වාගෙන යෑමට අවශ්‍ය වියදම් සහ ව්‍යාපාරයෙන් ලැබිය යුතු ආදායම් ද සැළකිල්ලට ගෙන ව්‍යාපාරයට අවශ්‍ය කාරක ප්‍රාග්ධනය සැලැසුම් කළ යුතු ය. වෙනස් විදියකින් පැවසුවහොත් ව්‍යාපාරය සඳහා අවශ්‍ය මුදල් අවශ්‍යතා පහත සඳහන් අන්දමට කෙටියෙන් සඳහන් කළ හැකි ය.

 

ව්‍යාපාරය ආරම්භ කිරීමට පෙර දැරිය යුතු වියදම්

 

ව්‍යාපාරයේ ස්ථාවර වත්කම් සඳහා දැරිය යුතු වියදම්

 

ව්‍යාපාරයක කටයුතු පවත්වාගෙන යෑමේදී අවශ්‍ය වියදම් (මාස 3 - 6 දක්වා වෙනස් විය හැකිය.)

 

ව්‍යාපාරයට අවශ්‍ය මුළු මුදල් ප්‍රමාණය

 

4.7 අවශ්‍ය මුදල් සොයා ගැනීම

 

මූල්‍ය සැලැසුමේ ඉතිරි කොටස සම්පූර්ණ කළ යුත්තේ ඒ අවශ්‍ය මුදල් ප්‍රමාණය ලබා ගැනීමට යොදාගෙන ඇති පියවර විස්තර කිරීමෙනි. ව්‍යාපාරයක් ආරම්භ කිරීම සඳහා අවශ්‍ය ආරම්භක මුදල් ප්‍රමාණය ලබාගත හැකි මාර්ග පහත සඳහන් ආකාරයට දැක්විය හැකි ය.

 

ව්‍යාපාර හිමියා යොදන මුදල් (ප්‍රාග්ධනය)

 

අනෙකුත් කොටස්කරුවන්ගෙන් ලැබෙන මුදල් (කොටස් ප්‍රාග්ධනය)

 

ණය මුදල් (බැංකු ණය)

 

ලීසිං ක්‍රමයට හෙවත් කල්බදු ක්‍රමයට ලබාගත හැකි සම්පත්

 

සැපයුම්කරුවන්ගෙන් ලැබෙන ණය

 

ව්‍යාපාරික කටයුතුවලින් ලැබෙන ආදායම

 

ලබාගත හැකි අත්තිකාරම්

 

මෙහි දී අමතක නොකළ යුතු ප්‍රධාන මූලධර්මය නම් යම්කිසි වත්කමක් ලබා ගැනීම සඳහා යොදවන මුදල් එම වත්කමට වඩා දිගු කාලයක් ව්‍යාපාරයේ තැබිය යුතු බවය. මාසයක දී ගෙවීමට පොරොන්දුවක් මත අවුරුදු 04 ක් භාවිත කළ හැකි යන්ත්‍රයක් මිලට ගැනීමේ දී ඇතිවන ප්‍රශ්න මොනවා ද යන්න ගැන සිත යොමු කිරීම වැදගත් ය.

 

Rate this item
(13 votes)