April 26, 2024

කිතුල් නිෂ්පාදන ලක්සලට ගන්න

කිතුල් ආශ්‍රිත ගෘහ භාණ්ඩ, විසිතුරු භාණ්ඩ ඇතුලු අනෙකුත් නිෂ්පාදන ලක්සලට මිලදීගෙන එම නිෂ්පාදකයින්ට සාධාරණ මිලක් ලබා දීමට කටයුතු කරන ලෙස ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ලක්සල සභාපති අනිල් කොස්වත්ත මහතාට උපදෙස් දී තිබේ.

පසුගිය දා කොළඹ සුදර්ශි ශාලාවේ පැවති "කිතුලක වරුණ" ප්‍රදර්ශනයේ සමාරම්භක දින ප්‍රධාන අමුත්තා ලෙස සහභාගී වෙමින් පැවති උත්සවයේදී අමාත්‍යවරයා මෙම උපදෙස් ලබා දි ඇත.

මෙම ප්‍රදර්ශනයේ තිබූ 50කට අධික ප්‍රදර්ශන කුටි වල සංචාරය කල අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ඇතුලු අමාත්‍යවරු එම නිෂ්පාදකයින් දිරිගැන්වීම සඳහා ඔවුන්ට අවශ්‍ය රජයේ සහයෝගය කුමක්දැයි විමසා බැලූහ. එහිදී අමාත්‍යවරුන්ට දැන ගන්නට ලැබුනේ මෙම නිෂ්පාදන අලෙවි කරගැනීම සඳහා සාධාරණ වෙළඳ පොළක් ලබා ගැනීමේ අවශ්‍යතාවයයි. ඒ සඳහා ලක්සලට මැදිහත් වන ලෙස එහිදී ලක්සල සභාපති අනිල් කොස්වත්ත මහතාට බැසිල් රජපක්ෂ අමාත්‍යවරයා විසින් උපදෙස් දුන්නේය.

මෙම ප්‍රදර්ශනය හා උත්සවය සම්ප්‍රදායික කර්මාන්ත හා කුඩා ව්‍යවසාය සංවර්ධන අමාත්‍යාංශය විසින් සංවිධානය කර තිබූ අතර ප්‍රදර්ශනයේ සමාරම්භක දින ප්‍රධාන අමුත්තා ලෙස ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ, ජ්‍යෙෂ්ඨ අමාත්‍ය ඒ.එච්.එම්. ෆවුසි හා කර්මාන්ත අමාත්‍ය රිෂාඩ් බදුර්දීන් යන මහත්වරු සහභාගී වූ අතර එම අමාත්‍යවරුන් පිළිගැනීම සම්ප්‍රදායික කර්මාන්ත හා කුඩා ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා අතින් සිදුවිය. 

 

Rate this item
(0 votes)