April 27, 2024

DFCC ඩිජිටල් අලෙවිකරණ වැඩසටහන SLIM DIGIS 2.1 සම්මාන උළෙලේදී පිළිගැනීමට ලක් වෙයි

February 23, 2022

DFCC බැංකුව ක්‍රියාත්මක කළ ‘සල්ලි අතින් අල්ලන්නේ නෑ’ ඩිජිටල් අලෙවිකරණ වැඩසටහන SLIM DIGIS 2.1 සම්මාන උළෙලේ අවසන් වටයට පැමිණීමට සමත් විය.

DFCC Virtual Wallet සේවාව ප්‍රවර්ධනය කිරීම සඳහා මෙම වැඩසටහන නිර්මාණය කරන ලදි.

SLIM DIGIS යනු ඩිජිටල් අලෙවිකරණ වැඩසටහන් ඇගයීමට ලක්කරන ජාතික මට්ටමේ සම්මාන උළෙලකි. DFCC බැංකුව මෙම සම්මාන උළෙලට ඉදිරිපත් වූ ප්‍රථම අවස්ථාව මෙය වූ අතර, මෙවර සම්මාන උළෙලේ බැංකුකරණ හා මූල්‍ය කාණ්ඩයේ විශිෂ්ටතම අලෙවිකරණ වැඩසටහන් අතර අවසන් වටයට පැමිණීමට DFCC බැංකුව සමත් විය.

තලවතුගොඩ Monarch Imperial හිදී පැවති මෙම උත්සවයට ඩිජිටල් අලෙවිකරණ ක්ෂේත්‍රය නියෝජනය කරන 400 කට අධික පිරිසක් සහභාගී වූහ. DFCC බැංකුව වෙනුවෙන් මෙම ප්‍රවර්ධන වැඩසටහන නිර්මාණය කළ Loops Digital සහ Storybook යන සමාගම්ද මෙම සම්මාන උළෙලේදී ඇගයීමට ලක්විය.

“SLIM DIGIS සම්මාන උළෙලට ඉදිරිපත් වූ ප්‍රථම අවස්ථාවේදීම අවසන් වටයට පැමිණීමට හැකිවීම අපට මහත් ගෞරවයක්. ශ්‍රී ලංකාවේ වේගයෙන්ම වර්ධනය වන වාණිජ බැංකුවක් මෙන්ම, කාටත් ගැළපෙන සේවාවන් ලබාදීමට කැපවී සිටින බැංකුවක් වශයෙන්, ඩිජිටල් තාක්ෂණය ඵලදායී ලෙස භාවිතා කිරීමේ වැදගත්කම අප හොඳින් හඳුනනවා. DFCC Virtual Wallet වැනි සේවාවක් හඳුන්වා දීමට අප කටයුතු කළේ ඒ නිසයි. මෙය හුදෙක් ගනුදෙනුකරණ බැංකුකරණයෙන් ඔබ්බට යමින්, අනෙකුත් හවුල්කරුවන් සමග එක්ව කටයුතු කිරීමට අවස්ථාව සලසා දෙන ජීවන විලාසිතාමය ප්‍රවේශයක් සහිත පූර්ණ ඩිජිටල් බැංකුකරණ අත්දැකීමක් ලෙස හැඳින්වීමට පුළුවන්. එම නිසා SLIM DIGIS හිදී අප ලැබූ මේ ජයග්‍රහණය, ශ්‍රී ලංකාවේ වඩාත්ම පාරිභෝගික කේන්ද්‍රීය සහ වඩාත්ම පුළුල් ලෙස ඩිජිටල්කරණය වූ බැංකුවක් බවට පත්වීම සඳහා අප යන ගමනේ තවත් වැදගත් සන්ධිස්ථානයක් ලෙස අප දකිනවා.” DFCC බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරී තිමල් පෙරේරා මහතා පැවසී ය.

“අලෙවිකරණ ක්ෂේත්‍රය යනු වර්තමානයේ වේගයෙන් වෙනස් වෙමින් පවතින ක්ෂේත්‍රයක්. මේ වනවිට වැඩියෙන්ම ජනප්‍රිය වෙමින් පවතින්නේ ඩිජිටල් අලෙවිකරණය වන අතර, එය අපට අලෙවිකරණ වැඩසටහන් වල සාර්ථකත්වය වඩාත් පහසුවෙන් තක්සේරු කිරීමට අවස්ථාව සලසා දෙනවා. අපගේ සේවාවන් ජනතාව අතරට ගෙනයාමේ උත්සාහය තුළදී ඩිජිටල් වැඩසටහන් අපගේ සන්නිවේදන ක්‍රමෝපායේ ප්‍රධානතම අංගයක් බවට පත්වී ඇත්තේ ඒ නිසයි.  ‘සල්ලි අතින් අල්ලන්නේ නෑ’ වැඩසටහන සම්පූර්ණයෙන්ම ඩිජිටල් නාලිකා හරහා ක්‍රියාවට නැංවූ වැඩසටහනක්. එහි මූලික ඉලක්ක වූයේ ගනුදෙනුකරුවන් DFCC Virtual Wallet බාගත (Download) කරගැනීම සහ එය භාවිතා කරමින් ගනුදෙනු සිදුකිරීම ප්‍රවර්ධනය කිරීමයි. ” DFCC බැංකුවේ අලෙවිකරණ හා තිරසාරත්ව ප්‍රධානී නිල්මිණි ගුණරත්න මහත්මිය පැවසුවා ය.

ශ්‍රී ලංකාවේ ඩිජිටල් අලෙවිකරණ ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සම්මාන උළෙලක් වන SLIM DIGIS සම්මාන උළෙල වාර්ෂිකව සංවිධානය කරනු ලබන්නේ මෙරට අලෙවිකරණය සම්බන්ධ ජාතික ආයතනය වන ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනය (Sri Lanka Institute of Marketing - SLIM) මගිනි. ඩිජිටල් අලෙවිකරණ ක්ෂේත්‍රයේ දක්ෂතා හා ජයග්‍රහණ ඇගයීමට ලක්කිරීම එහි මූලික අරමුණ වේ.

Rate this item
(0 votes)