May 02, 2024

හේලීස් ඇවෙන්චුරා ඉල්ලූ අතුරු තහනම ප‍්‍රතික්ෂේප කරයි

February 17, 2022

පසුගිය පෙබරවාරි 09 වනදා හේලීස් ඇවෙන්චුරා පුද්ගලික සමාගම විසින් වෝර්ටෙක්ස් ඇවෙන්චුරා පුද්ගලික සමාගමට එරෙහිව ඉල්ලා තිබූ අතුරු ඉන්ජන්ක්ෂන් තහනම් නියෝගය ලබා දීම කොළඹ වාණිජ මහාධිකරණය ප‍්‍රතික්ෂේප කර තිබෙනවා.  

පැමිණිලිකාර හේලීස් ඇවෙන්චුරා පුද්ගලික සමාගම විසින් අධිකරණයෙන් ඉල්ලා තිබුණේ වෝර්ටෙක්ස් ඇවෙන්චුරා පුද්ගලික සමාගම කාර්මික හා වාණිජ උපකරණ ක්ෂේත‍්‍රයේ පවත්වාගෙන යනු ලබන ව්‍යාපාරික කටයුතු සදහා ඇවෙන්චුරා යන නාමය සෘජුව හෝ වක‍්‍රව ව්‍යාපාර හදුනාගැනීමේ වෙළද ලකුණක් හෝ වෙළද නාමයක් වශයෙන් හෝ විද්‍යුත් ලිපිනයක් ලෙස හෝ වෙනත් අයුරකින් භාවිතා කිරීම වළක්වාලමින් අතුරු ඉන්ජන්ක්ෂන් තහනම් නියෝගයක් ලබා දෙන ලෙසයි.

හේලීස් ඇවෙන්චුරා පුද්ගලික සමාගම විසින් වාණිජ මහාධිකරණයෙන් වෝර්ටෙක්ස් ඇවෙන්චුරා පුද්ගලික සමාගමට එරෙහිව ඒක පාර්ශවිකව වාරණ නියෝගයක් ලබා ගෙන තිබුණා.

විත්තිකාර වෝර්ටෙක්ස් ඇවෙන්චුරා පුද්ගලික සමාගම වෙනුවෙන් ප‍්‍රකාශ කර සිටින ලද්දේ ඇවෙන්චුරා යන නාමය වර්ගීය නාමයක් (generic  name) වන හෙයින් පැමිණිලිකාර සමාගමට පමණක් සුවිශේෂීව හෝ අනන්‍ය නාමයක් ලෙස භාවිතා කළ නොහැකි බවයි.

තවද පැමිණීලිකාර සමාගමේ හා විත්තිකාර සමාගමේ වෙළද ලකුණු එකිනෙකට පැහැදිලිවම වෙනස් වන හෙයින් බුද්ධිමය දේපල පනතේ ප‍්‍රතිපාදන මත අතුරු තහනම් නියෝගයක් ඉල්ලා සිටිය නොහැකි බවටද විත්තිකාර සමාගම වැඩිදුරටත් අධිකරණයට දන්වා සිටියා.

වාණිජ මහාධිකරණ විනිසුරු ප‍්‍රදීප් හෙටිටිආරචිචි මහතා අනෙකුත් කරුණු අතර අවධාරණය කර සිටින ලද්දේ වර්ගීය නාමයක් (generic  name) තනි පුද්ගලයෙකුට හෝ තනි ඒකකයකට ලියාපදිංචි කිරීමට අවසර දිය නොහැකි බවත්, තවත් පුද්ගලයන් හෝ ඒකකයන් එවැනි වර්ගීය නාමයක් (generic  name) භාවිතා කිරීම සීමා කළ නොහැකි බවයි.

පැමිණිලිකාර සමාගමේ හා විත්තිකාර සමාගමේ වෙළද ලකුණු එකිකෙනකට වෙනස් ස්වරූපයක් ගන්නා හෙයින් විත්තිකාර සමාගමේ වෙළද ලකුණ මගින් සාමාන්‍ය පාරිභෝගිකයෙකු ව්‍යාකූලත්වයකට පත්වීමක් හෝ නොමග යැවීමක් සිදු නොවන බව අධිකරණය සඳහන් කර තිබෙනවා.

ඒ අනුව අධිකරණය විසින් විත්තිකාර සමාගමට එරෙහිව නිකුත් කර තිබූ වාරණ නියෝගය විසුරුවා හරිමින් ගාස්තුවකට යටත්ව අතුරු ඉන්ජන්ක්ෂන් තහනම් ඉල්ලීම ප‍්‍රතික්ෂේප කර තිබෙන බවයි වාර්තා වන්නේ.

Rate this item
(1 Vote)