May 17, 2024

විදුලි කාර්මිකයන් 5000කට කාර්මික බලපත්‍ර දීමට යයි

විදුලිකාර්මිකයින්ට NVQ 3 (ජාතික වෘත්තීය සුදුසුකම 3 මට්ටම) නොමිලේ පිරිනැමීමේ ජාතික වැඩටහනේ දෙවන අදියර හෙට (06) දිනයේ සිට ආරම්භ කිරීමට නියමිතයි.  ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව ක්‍රියාවට නගන මෙම වැඩසටහන පසුගිය මාර්තු මාසයේදී ආරම්භ වුණා.

මේ වන විට විදුලිකාර්මිකයින් 2000ක් NVQ3 ලබාගෙන විදුලිකාර්මික බලපත්‍රය සදහා සුදුසුකම් ලබා තිබෙනවා. 

මෙම මස තුලදී  තවත් විදුලිකාර්මිකයින් 1500කට NVQ3 ලබාදීමේ පරීක්ෂණ පැවත්වීමට සැළසුම් කර තිබෙන බව වාර්තා වෙනවා. වැඩසටහනේ තෙවන අදියර නොවැම්බර් මාසයේදී ආරම්භ වන අතර වසර අවසන් වීමට පෙර තවත් විදුලිකාර්මිකයින් 2500කට NVQ3 පිරිනැමීමට නියමිතයි.

විදුලිබල කර්මාන්තයේ නියාමන ආයතනය වන ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක මහතා මේ බව පැහැදිළි කරමින් කියා සිටියේ,

 “විදුලිකාර්මික වෘත්තීයේ නියැලෙන පිරිස 45000ක් පමණ. මේ අයගෙන් 95කටම පිළිගත් සුදුසුකමක් නැහැ. ඒ නිසා ඔවුන්ට වෘත්තියේ ඉදිරියට යන්න බැහැ. ඒ වගේම ප්‍රමිතිගත විදුලිකාර්මිකයින් නොමැති කම විදුලි ආරක්ෂාවටත් තර්ජනයක්.  ඒ වගේම විදුලිකාර්මික වෘත්තීය බලපත්‍රය ලබාගැනීමට නම් අවම වශයෙන් NVQ 3 මට්ටමවත් තිබිය යුතු ය. 

ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව සියලුම විදුලිකාර්මිකයින්ට නොමිලේ NVQ3 පිරිනැමීමේ වැඩසටහන ආරම්භ කලේ මේ සියලු ගැටළු වලට පිළියමක් වශයෙන්. ඉදිරි වසර තුලදී පලපුරුදු සියලු විදුලිකාර්මිකයින්ට  කඩිනම් ක්‍රමය යටතේ නොමිලේ NVQ3 පිරිනැමීම අපේ ඉලක්කයයි.” ලෙසිනි.

විදුලිකාර්මිකයින්ට NVQ 3 පිරිනැමීමේ වැඩසටහන සදහා ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව(PUCSL) වෘත්තීය හා තෘතියික අධ්‍යාපන කොමිෂන් සභාව (TVEC)), වෘත්තීය පුහුණු අධිකාරිය(VTA)  සහ ජාතික ආධුනිකත්ව හා කාර්මික පුහුණු කිරීම් අධිකාරිය (NAITA) යන ආයතන සමග අවබෝධතා ගිවිසුම් ක්‍රියාවට නැගුවේ මේ වසරේදී.

මෙම අවබෝධතා ගිවිසුම්වලට අනුව ජාතික වෘත්තීය සුදුසුකම් විභාග හා පාඨමාලා ගාස්තු විදුලිකාර්මිකයින් වෙනුවෙන් ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව විසින් දරනු ලබනවා.

විදුලිකාර්මිකයින්ට සිව් දිනක් තුලදී පෙර දැනුම ඇගයීමේ ක්‍රමය (Recognition of Prior Learning-RPL based Evaluation) යටතේ NVQ 3 සුදුසුකම ලබාගැනීමට හැකි වීමද මෙම වැඩසටහනේ විශේෂත්වයක්.

විදුලිකාර්මිකයින්ට NVQ 3 ලබාගැනීමෙන් අනතුරුව විදුලිකාර්මික වෘත්තීය බලපත්‍රය ද පිරිනැමීම සදහා ශ්‍රී ලංකා ඉදිකිරීම් කර්මාන්ත සංවර්ධන අධිකාරිය සමග එක්ව ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව සැලසුම් කර ඇතැයි ජනක රත්නායක මහතා අනාවරණ කළා.

“ඉදිරියේදී විදුලිකාර්මිකයින් අනිවාර්යෙන් විදුලිකාර්මික බලපත්‍ර ගත යුතු බවට රෙගුලාසි පැනවෙනවා. මේ වන විටත් විදුලිකාර්මිකයින් සදහා ශ්‍රේණි 4ක් යටතේ උසස්වීම් ලබාගත හැකි ආකාරයේ වෘත්තීය බලපත්‍ර ක්‍රමයක් හදුන්වා තිබෙනවා. ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව සහ ඉදිකිරීම් කර්මාන්ත සංවර්ධන අධිකාරිය ඇතුළු ආයතන ගණනාවක් එක්ව මේ බලපත්‍ර ක්‍රමය සකස් කලා. බලපත්‍රය ලබාගැනීමට අවම සුදුසුකම NVQ 3 මට්ටම. 

අපි දැන් සියලු විදුලිකාර්මිකයින්ට NVQ 3 නොමිලේ ලබාදෙනවා. ඒ නිසා සියලු විදුලිකාර්මිකයින්ට වෘත්තීය බලපත්‍රයද පහසුයෙවන් ලබාගන්න පුළුවන්. විදුලිකාර්මික වෘත්තීය බලපත්‍ර පිරිනැමීමේ කටයතු දිස්ත්‍රික් මට්ටමින් මේ මාසයේ සිට ආරම්භ කිරීමට අපි සැළසුම් කරල තිබෙනවා” යනුවෙන්ද ඒ මහතා පවසා සිටියා.

විදුලිකාර්මිකයින්ට NVQ 3 නොමිලේ පිරිනැමීමේ වැඩසටහන පිළිබද වැඩිදුර විස්තර ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ නිල ෆේස්බුක් පිටුවට Facebook.com/pucsl  පිවිස ලබා ගත හැකි අතර 0764271030 දුරකතන අංකයට සිය නම හා දිස්ත්‍රික්කය වට්ස්ඇප් ඔස්සේ එවීමෙන් ද විදුලිකාර්මිකයින්ට මෙම වැඩසටහන සදහා ලියාපදිංචි විය හැකියි.

Rate this item
(0 votes)
Last modified on Wednesday, 06 October 2021 02:13