May 03, 2024

අපනයන ආදායමේ වර්ධනයක් 

September 22, 2014

2014 ජූලි මාසයේ අපනයන ආදායම එක්සත් ජනපද ඩොලර් මිලියන 955ක් දක්වා සියයට 11.1කින් වර්ධනය වූ බවත් 2014 පළමු මාස හත තුළ සමුච්චිත අපනයන ආදායම සියයට 15.9ක වර්ධනයක් වාර්තා කරන ලද බවත් ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි. 

සියලුම ප‍්‍රධාන අපනයන කාණ්ඩයන් මෙම අපනයන ආදායමේ වර්ධනයට දායකත්වය සැපයූ අතර විශාලතම දායකත්වය කාර්මික අපනයනයන්ගෙන් ලැබී ඇත. කාලීන උච්චාවචනයන්ට අනුව වෙනස් වන ඉල්ලුම පිළිබිඹු කරමින් රෙදිපිළි හා ඇඟළුම් අපනයන ආදායම විශාල ලෙස වර්ධනය වූ අතර, රබර් ටයර් විශාල ලෙස අපනයනය කිරීම හේතුවෙන් රබර් නිෂ්පාදිත අපනයන ආදායම ද වර්ධනය වූ බව මහ බැංකුව පවසයි. 

එසේ වුවද, ප‍්‍රධානත ම ඛනිජ තෙල් නිෂ්පාධිතය වන නැව් හා ගුවන් යානා ඉන්ධන අපනයන ආදායම අඩු වූ අතර මිල ගණන් ඉහළ ගිය ද අපනයන පරිමාව අඩු වීම මේ සඳහා හේතු විය. ඉන්දියාව සහ සිංගප්පූරුව වැනි ප‍්‍රධාන කලාපීය තරගකරුවන්ගෙන් මෙම ක්ෂේත‍්‍රයට පවතින විශාල තරගකාරීත්වය මෙමගින් අර්ධ වශයෙන් පිළිබිඹු කෙරේ. තවද 2014 ජූලි මාසයේ මැණික් සහ දියමන්ති අපනයන ආදායම අඩු වූ අතර ස්වර්ණාභරණ අපනයන ආදායම වර්ධනය විය.

ප‍්‍රධාන වශයෙන් පොල් සහ තේ අපනයනයේ වැඩි දියුණු වූ ක‍්‍රියාකාරීත්වය හේතුවෙන් කෘෂි කාර්මික අපනයන ආදායම වර්ධනය වූ බවත් ප‍්‍රධාන වශයෙන් අයහපත් කාලගුණික තත්ත්වය සහ ජාත්‍යන්තර වෙළෙඳපොළෙහි රබර් මිල අඛණ්ඩව අඩු වීම හේතුවෙන් 2014 ජූලි මාසයේ රබර් අපනයන ආදායම අඩු වූ අතර ප‍්‍රධාන වශයෙන් නිෂ්පාදනය අඩු වීම හේතුවෙන් කුළු බඩු අපනයන ආදායම ද අඩු වූ බව ශ්‍රී ලංකා මහ බැංකුව පෙන්වා දෙයි.

Rate this item
(0 votes)