May 03, 2024

චීන වෙළෙඳ කටයුතුවලදී ශ්‍රී ලංකා රුපියල් භාවිතයට අවසර

September 18, 2014

ශ්‍රී ලංකා මහ බැංකුව හා චීන මහ බැංකුව සමඟ අන්‍යෝන්‍ය මූල්‍ය ඒකක හුවමාරුව සඳහා වන ද්විපාර්ශ්වික ගිවිසුමකට 16වැනිදා එළැඹිණි. 

මේ යටතේ විදේශ වෙළෙඳාමට අදාළ ව සහ දෙපාර්ශවය එකඟ වන වෙනත් අරමුණු සඳහා පිළිවෙළින් ශ්‍රී ලංකා ජාතික මුදල් ඒකකය (ශ්‍රී ලංකා රුපියල්) සහ චීන ජාතික මුදල් ඒකකය (චීන යුවාන්) භාවිත කිරීම සඳහා පහසුකම් සැලසීම කෙරෙනු ඇත.

මූලික වශයෙන් වසර 03ක කාලයකට වලංගු වන මේ ගිවිසුම මඟින් පිළිවෙළින් ශ්‍රී ලංකා රුපියල් බිලියන 225ක සහ චීන යුවාන් බිලියන 10ක උපරිමයකට යටත් ව විදේශ වෙළෙඳ කටයුතු සඳහා මූල්‍ය ඒකක හුවමාරු පහසුකම් සැලසෙනු ඇත. 

දෙරට අතර ශීඝ්‍රයෙන් වර්ධනය වෙමින් පවතින ද්විපාර්ශ්වික වෙළෙඳාම් සහ ආයෝජන කටයුතුවලට පහසුකම් සැලසීමත්, දෙරටේ මහ බැංකු අතර මූල්‍ය සහයෝගිතාව තවදුරටත් පුළුල් කිරීමත් මේ ගිවිසුම් අත්සන් කිරීමෙන් අපේක්ෂා කෙරේ.

මෙය ශ්‍රී ලංකාව විසින් ප්‍රවර්ධනාත්මක චීන අන්තර් බැංකු බැඳුම්කර වෙළෙඳපොළෙහි ආයෝජනය කිරීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා සහ චීන මහ බැංකුවේ අධිපති සොව් සිආවෝවුආන් මහතා විසින් පසුගිය අගෝස්තු 25 දින අත්සන් කරන ලද ආයෝජන ගිවිසුමට අමතර ව අත්සන් කරනු ලැබූ තවත් එක් ගිවිසුමක් බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

Rate this item
(0 votes)