April 26, 2024

යාපනය ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ වාණිජ ගුවන් ගමන් මෙහෙයුම් කටයුතු ඇරඹේ

November 14, 2019

ශ්‍රී ලංකාවේ තුන්වන සහ නවීනත ම ජාත්‍යන්තර ගුවන්තොටුපොළ වන යාපනය ජාත්‍යන්තර ගුවන්තොටුපොළ නොවැම්බර් මස 11 වනදා සිට ජාත්‍යන්තර වාණිජ ගුවන් ගමන් මෙහෙයුම් කටයුතු ආරම්භ කළේය.

Air India ගුවන් සමාගමට අනුබද්ධිත Alliance Air ගුවන් සමාගම මෙලෙස යාපනය ගුවන්තොටුපොළේ ගුවන් ගමන් ආරම්භ කළ අතර එම සමාගම විසින් යාපනයේ සිට චෙන්නායි දක්වා සතියකට වරක් ගුවන් වාර සිදු කරයි.

ශ්‍රී ලංකාවේ ගුවන් ගමන් ඉතිහාසයේ සංධිස්ථානයක් සනිටුහන් කරමින් මෙම ගුවන්තොටුපොළ හරහා ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියේ බලපත්‍රලාභී දේශීය පුද්ගලික ගුවන් සමාගමක්වන FITS Aviation සමාගම ද අන්තර්ජාතික ගුවන් ගමන් සිදු කිරීමට නියමිතය. එම සමාගම යාපනය ගුවන්තොටුපොළේ සිට දකුණු ඉන්දියාවේ චෙන්නායි සහ තිරුචිරප්පලෙයි ජාත්‍යන්තර ගුවන්තොටුපොළ දක්වා සැලසුම්ගත සහ වාර ගුවන් ගමන් සිදු කරයි.

ගුවන්තොටුපොළ සහ ගුවන් සේවා සමාගමේ සභාපති දම්මික රණතුංග මහතා මෙම ඓතිහාසික අවස්ථාව පිළිබඳ සඳහන් කළේ, යාපනය ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ පරිවර්තනය පිළිබඳ තමන් බෙහෙවින් ආඩම්බරවන බවය. "දශක ගණනක පටන් මෙහෙයුම් කටයුතු සිදු නොවූ මෙම ගුවන්තොටුපොළ සංචාරක කර්මාන්තයත්, ආයෝජනත් වර්ධනය කරමින් ශ්‍රී ලාංකේය ආර්ථිකයට සුවිසල් දායකත්වයක් ලබා දෙනු ඇත."

වසර පුරාම ශ්‍රී ලාංකික සංචාරකයන් විශාල පිරිසක් ප්‍රධාන වශයෙන් වන්දනා චාරිකා සඳහා ඉන්දියාවේ සංචාරය කරති. තවද, ශ්‍රී ලංකාවට වැඩිම සංචාරකයන් පිරිසක් පැමිණෙන ඉන්දියාවෙන් වාර්ෂිකව පැමිණෙන සංචාරකයන්ගේ සංඛ්‍යාව ද ශීඝ්‍ර වර්ධනයක් පෙන්නුම් කරයි. එම දෙස්-විදෙස් සංචාරකයන්ගේ පිරිවැය ආසන්න වශයෙන් 50% කින් අඩු කිරීමට යාපනය සහ දකුණු ඉන්දියාව අතර සිදු කෙරෙන මෙම ගුවන් ගමන් සේවාවට හැකි වේ. තවද, යාපනයේ සිට කොළඹ ජාත්‍යන්තර ගුවන්තොටුපොළට පැමිණීමට ගතවන කාලය ද මෙමගින් මුළුමනින් ම ඉතිරි කර ගැනීමට ද හැකි වේ.

"ජාත්‍යන්තර සිවිල් ගුවන් සේවා සංවිධානයට (ICAO) අනුව ශ්‍රී ලංකාව ගුවන් ගමන් සුරක්ෂිතතාව පිළිබඳ ජාත්‍යන්තර ප්‍රමිතීන් ඵලදායී ලෙස ක්‍රියාත්මක කිරීම සම්බන්ධව දකුණු ආසියාවේ ගුවන් ගමන් සේවාවල ආරක්‍ෂිත බව අතින් පළමු ස්ථානයේ රැඳෙන අතර ගෝලීය වශයෙන් 19 වන ස්ථානය හිමි වී තිබෙනවා. යාපනය ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ ආරක්ෂාව සම්බන්ධව කටයුතු කරන සියලු ම කාර්යමණ්ඩල සාමාජිකයන් හට උසස් ම පුහුණුවක් ලබා දීමෙන් අනතුරුව බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ ප්‍රමිතීන්ට නොදෙවෙනි සේවාවක් ලබාදීම සඳහා ඔවුන්ගෙන් බහුතරයක් එම ගුවන්තොටුපොළෙන් යොමු කර තිබෙනවා." යනුවෙන් රණතුංග මහතා වැඩිදුරටත් අදහස් පළ කළේය.

ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියේ අධීක්ෂණය යටතේ යාපනය ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ පූර්ණ ප්‍රතිසංවර්ධන වැඩසටහන ශ්‍රී ලංකා රජයේ රු. බිලියනයකට ආසන්න ආයෝජනයකින් මේ වසරේ මුලදී ආරම්භ කෙරිණි.

Rate this item
(1 Vote)