April 27, 2024

ස්වෙච්ඡා තරුණ තරුණියන්ට විශේෂ ප්‍රතිලාභ රැසක් ලැබෙන පරිදි නව වැඩපිළිවෙළක්

ජාතික තරුණ සේවා සභාව විසින් දීර්ඝ කාලයක් පුරා රට වටා සිටින්නාවූ නව යොවුන් තරුණ තරුණියන් සම්බන්ධ කොට ගනිමින් ස්වේච්ඡා කටයුතු රැසක් ඉටු කළහ. නමුත් ඔවුන් ස්වේච්ඡාවෙන් වැඩ කළද ඔවුන් ඉටු කරන කාර්යභාරයට නිසි ඇගයීමක් කිසි දිනක ලැබුනේ නැත. නමුත් ඒ අඩුව පුරවමින් ජාතික තරුණ සේවා සභාවේ සභාපති, අධ්‍යක්ෂක ජෙනරාල් නීතිඥ එරංද වැලිඅංගේ මහතා ඔවුන්ට විශ්ව විද්‍යාල ප්‍රවේශයේදී අමතර ලකුණු ලැබෙන ක්‍රමයක් හා රැකියා අයැදුම් කිරීමේදී, උසස්වීම් ලබාගැනීමේදී ඇතුළු ජීවිත කඩඉම් රැසකදී ඔවුන්ට විශේෂ ප්‍රතිලාභ රැසක් ලැබෙන පරිදි නව වැඩපිළිවෙළක් ‘යුතුකම’ නමින් නිර්මාණය කොට ඇත.

මෙය යුරෝපීය රටවල තරුණ තරුණියන් අතර ප්‍රචලිත ක්‍රමවේදයකි. උසස් අධ්‍යාපන ආයතන වලට ‌තෝරා ගැනීමේ දී පමණක් ‌නොව ශිෂ්‍යාධාර ලබා දීමේ දී පවා ස්වේච්ඡා ‌‌සේවයක ‌යෙදුනු තරුණ තරුණියන්ට අමතර ප්‍රතිලාභ හිමිවේ. ලංකාවේ ද හැටේ දශකයේ දී පමණ ‌මීට සමාන ක්‍රමයක් තිබූ නමුත් පසු කලෙක එය අභාවයට ගියේ ය.

මේ ගැන අදහස් දක්වමින් නීතිඥ එරන්ද වැලිඅංගේ මහතා සඳහන් කළේ, “ඇත්තටම රටට ආදරය කරන්නේ මේ ස්වේච්ඡා වැඩවලට සම්බන්ධ වන තරුණ තරුණියන්, ඔවුන් සත පහකවත් දෙයක් බලාපොරොත්තු නොවී තමන්ගෙ කාලය, ශ්‍රමය, ධනය මේ රට වෙනුවෙන් කැප කරනවා. ඉතින් ඒ තරුණ තරුණියන්ට නියම වටිනාකමක් දෙන්නෙ කොහොමද කියල අපි කල්පනා කළා. ඊට පස්සේ තමයි අපි මෙවැනි වැඩපිළිවෙළකට මුලපිරුවේ. ඇත්තටම අපි මේකට මුළු රටේම ඉන්න වයස අවුරුදු 15 සිට 29 දක්වා සියලුම මට්ටම්වල තරුණ තරුණියන් සම්බන්ධ කරගන්නවා. ඒ වගේම විශේෂයෙන්ම තව කියන්න ඕන මේ වන විට අපේ රටට විවිධ අධ්‍යාපන හා විවිධ සේවා කටයුතුවලට ඇවිල්ලා ඉන්න විදේශීය තරුණ තරුණියන්ට පවා මේකට සම්බන්ධ වීමට හැකි ඉඩකඩ අපි සලසලා තියෙනවා” යනු‌වෙනි.

මෙකී වැඩපිළිවෙළ යටතේ නායකත්ව ගුණාංග වලින් හෙබි ප්‍රායෝගිකව සිතන එකිනෙකාගේ සංස්කෘතීන් වටිනාකම් හර පද්ධතීන් හඳුනන බහු ආගමික බහු වාර්ගික ජන කොට්ඨාස සමග අවබෝධයෙන් කටයුතු කළ හැකි වර්ණවත් තරුණ ප්‍රජාවක් රටට දායාද වීම නොවැලැක්විය හැකි කරුණක් වනු ඇත. ඒ අනුව ඉදිරියේ දී තරුණ ස්වේච්ඡා සේවකයින් ලියාපදිංචි කිරීමේ කාර්යාල ස්ථාපිත කිරීමට නියමිතය.

ස්වෙච්ඡා සේවය විශේෂයෙන් ක්ෂේත්‍ර අටක් ඔස්සේ ක්‍රියාත්මක කිරීමට නියමිත අතර එහි සාර්ථකත්වය මත රන්, රිදී හා ලෝකඩ පදක්කම් ලෙස තුන් අයුරකට ඇගයීම් කමිටුවක් මගින් ඇගයීමට ලක් කිරීමට නියමිතය. එමෙන්ම මෙහි ප්‍රතිපත්තිමය කාරණා,ස්වේච්ඡා සේවය සිදුකරන ක්ෂේත්‍ර හා ආයතන සම්බන්ධයෙන් සොයා බැලීමට මෙන්ම එහි ප්‍රගතිය සොයා බැලීම ජාතික මෙහෙයුම් කමිටුව නමින් හඳුන්වන පාලක සභාව මගින් ඉතා විනිවිදව ඉටු කෙරෙයි.

ශ්‍රී ලංකා ජාතික තරුණ ස්වේච්ඡා ‌සේවය ක්‍රියාත්මක කරන්නේ ‌කෙසේද? ඒ මගින් තරුණ තරුණියන්ට ලැබෙන ප්‍රතිලාභ ‌‌මොනවාද ආදිය පිලිබඳ වැඩි විස්තර සඳහන් වන වාර්තාවක් පහත දැක්වේ.

Rate this item
(0 votes)