April 26, 2024

පාසල් සිසුන්ගේ ‘සුරක්‍ෂා’ රක්ෂණාවරණය පුද්ගලික රක්‍ෂණ සමාගමකට - කොමිස් මුදල මිලියන 500යි

මෙරට පාසැල් සිසු සිසුවියන් රක්ෂණය කිරීම සඳහා රජය විසින් පසුගිය වසරේ ආරම්භ කළ ‘සුරක්‍ෂා’ රක්ෂණාවරණය ලබන වසරේ සිට ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවෙන් ඉවත් කර පුද්ගලික රක්ෂණ සමාගමකට ලබාදීමේ සූදානමක් පවතින බව රජයේ ආරංචි මාර්ග පවසයි.

ඒ අනුව ලබන වසරේ සිට එම රක්ෂණාවරණය විදෙස් සමාගමකට අයත් එලායන්ස් ඉන්ෂුවරන්ස් ආයතනයට ලබා දීමට සැලසුම් කර ඇති අතර ඒ සඳහා කැබිනට් මණ්ඩල පත්‍රිකා පවා සූදානම් කර අදාල අනුමැතිය ලබා ගැනීමට අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා ක්‍රියාකර ඇතැයිද විශ්වාස කටයුතු ආරංචි මාර්ග සඳහන් කරයි.

රජයට අයත් රක්ෂණ සමාගමක් වන ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව තිබියදී රුපියල් බිලියන ගණනක වටිනාකමක් ඇති රක්ෂණාවරණයක් එලායන්ස් රක්ෂණ සමාගම වෙත ලබාදීමට කටයුතු කිරීම මගින් විශාල අක්‍රමිකතාවක් සිදු වීම වැලැක්විය නොහැකි බව ගුරු සංගම් පෙන්වා දෙයි.

පාසල් පෙලපොත් මුද්‍රණය හරි අඩකින් පමණ කපා හැර පෙලපොත් වලින් ඇතැම් ඒවා දෙමාපියන්ට මිලදී ගැනීමේ තත්ත්වයක් නිර්මාණය කර තිබූ අධ්‍යාපන අමාත්‍යාංශය වැඩි බරක් තබා ක්‍රියාත්මක කළ ව්‍යාපෘතියක් වූයේ මෙම සුරක්ෂා රක්ෂණාවරණයයි.

එක් සිසුවෙකු වෙනුවෙන් රුපියල් 500ක් බැගින් වන පරිදි රටේ පාසල් සිසුන් ලක්ෂ 45ක් සිටින්නේ යැයි අනුමාන කර අධ්‍යාපන අමාත්‍යාංශය පසුගිය වසරේ සැප්තැම්බර් මස 25 වනදාත් ඔක්තෝම්බර් මස 08 වනදාත් අතර කාල සීමාව තුළ ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව වෙත ගෙවන වාරික මුදල මිලියන 27,000කි.

සාමාන්‍යයෙන් රක්ෂණ ක්‍රමයක් ක්‍රියාත්මක කිරීමේදී නියෝජිතයෙකු සිටින අතර එම නියෝජිත ආයතනය හරහා මෙම රක්ෂණ ක්‍රමය ක්‍රියාත්මක කිරීමේදී මිලියන 500කට වැඩි මුදලක් කොමිස් මුදල වශයෙන් හිමිවේ.

නමුත් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කළ පළමු වසර සඳහා රාජ්‍ය ආයතනයක් වූ ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවට මෙම රක්ෂණාවරණය ලබාදීමට අනුමැතිය හිමිවූ අතර අධ්‍යාපන අමාත්‍යාංශය තවත් රජයේ ආයතනයක් සමඟ ගනුදෙනු කිරීමේදී අතරමැදියෙකු යොදා ගැනීමට කිසිදු අවස්ථාවක් හිමිනොවනු ඇත.

නියෝජිතයෙකු හරහා ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව සුරක්ෂා රක්ෂණාවරණය සඳහා තෝරා ගනිමින් කොමිස් මුදලක් උපයා ගැනීමට හැකිව තිබූ බව මීට පෙර අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා ප්‍රකාශ කර තිබිණි. කෙසේ නමුත් අමාත්‍යවරයාගේ එම ප්‍රකාශය පදනමක් නොමැති ප්‍රකාශයකි.

මෙම රක්ෂණ වැඩපිළිවෙල රජයට අයත් රක්ෂණ සමාගම සෘජුව සම්බන්ධ කර ගැනීමට අවස්ථාව තිබියදී පෞද්ගලික ආයතනයක් හරහා එම රක්ෂණ ක්‍රමය ක්‍රියාත්මක කිරීම තුළින් රුපියල් බිලියන දෙකකට වැඩි මුදලක් එම සමාගමට හිමිවීම වැලැක්විය නොහැකිය.

ඒ අනුව සුරක්ෂා රක්ෂණ ආවරණය හරහා විශාල මූල්‍ය වංචාවක් සිදුවන බවට ගුරු සංගම් චෝදනා කරයි. ගුරු සංගම්වලට අනුව අමාත්‍යාංශය රුපියල් මිලියන 27,000 ක් එම රක්ෂණ වැඩසටහන සඳහා වාර්ෂිකව වැය කෙරේ.

කෙසේ වෙතත් රුපියල් ලක්ෂ 2ක රක්ෂණාවරණයකින් රුපියල් ලක්ෂ 5කට අධික ප්‍රතිලාභ රැසක් පාසල් දරුවන්ට පිරිනැමෙන ‘සුරක්ෂා’ රක්ෂණාවරණය ක්‍රියාත්මක කරන්නේ අධ්‍යාපන අමාත්‍යාංශය විසිනි.

ඒ අනුව පාසල් 11,242ක සිසුන් ලක්ෂ 45කට දවසේ පැය 24 පුරා ආවරණය වන මෙම ‘සුරක්ෂා’ රක්ෂණාවරණය යටතේ සුවිශේෂ වරප්‍රසාද රැසක් ලබා දීමට රජය කටයුතු යොදා ඇත.

මෙම රක්ෂාවරණය සහිත කාඩ්පත ඉදිරිපත් කර පෞද්ගලික රෝහලක නේවාසික ප්‍රතිකාර ගැනීමේදී රෝහල් ගාස්තුවලින් 20 %ක අඩු කිරීමක්ද, වෛද්‍ය උපදේශකවරයකු හෝ විශේෂඥ වෛද්‍යවරයකුගේ ගාස්තුවලින් 20 %ක අඩු කිරීමක්ද කෙරෙන පරිදි මෙම ප්‍රතිලාභ සැකසෙයි.

මෙම රක්ෂණ පහසුකම් සෞඛ්‍ය රක්ෂණාවරණය, හදිසි අනතුරු ආවරණය හා විශේෂ ප්‍රසාද දීමනා යනුවෙන් අංශ 3ක් යටතේ ක්‍රියාත්මක අතර රෝහල්ගත වීමකදී එක් වරකට රුපියල් 100,000ක් දක්වා භාවිත කළ හැකිය.

රජයේ රෝහලක නේවාසිකව ප්‍රතිකාර ගැනීමකදී දිනකට රුපියල් 1000 ක මුදලක් දින 30 ක් දක්වා ගෙවිම් සිදු කෙරෙයි. එසේම හඳුනාගත් රෝගවලට ආදාළ ඖෂධ, වෛද්‍ය ගාස්තු මෙන්ම වෛද්‍ය පරීක්ෂණ සඳහා වූ බාහිර ප්‍රතිකාර ආවරණය යටතේ රුපියල් 10,000ක ආවරණයක් හිමි වේ.

එසේම නේවාසික ප්‍රතිකාර සඳහා රෝහල් ලියාපදිංචි ගාස්තු, වැට්බදු අය කිරීම් මීට ඇතුළත් නොවෙයි. නේවාසික ප්‍රතිකාර සඳහා එක් දිනකට රුපියල් 5000ක කාමර ගාස්තු ගෙවන අතර, වැඩි වන මුදල රක්ෂණාවරණයෙන් ආවරණය වන්නේ නැත.

රක්ෂණ යෝජනා ක්‍රමය ආරම්භ කර ගෙවුණු මාස 6 තුළදී වන්දි ලෙස ගෙවා ඇත්තේ රුපියල් මිලියන 52 ක් පමණි.

කෙසේවෙතත් එවැනි තත්ත්වයක් තුළ සුරක්ෂා රක්ෂණයෙන් සිදුවන්නේ අධ්‍යාපනය වෙනුවෙන් වැය කළයුතු මුදල් පෞද්ගලික රක්ෂණ සමාගමක් වෙත ගෙවීම තුළින් විශාල වංචාවක් සිදු කිරීමට හැකියාවක් පැවතීමයි.

Rate this item
(0 votes)
Last modified on Sunday, 07 October 2018 10:16