April 26, 2024

සංචාරක සත්කාරක නිවහන් වලට ණයදීමේ වැඩසටහනක්

සංචාරක සත්කාරක නිවහන් සඳහා ණය ලබාදීමේ පුළුල් වැඩසටහනක් ආරම්භ කර ඇතැයි ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි.
 
දිවයින පුරා ක්‍රියාත්මක වන සංචාරක සත්කාරක නිවහන් (Homestay) වැඩිදියුණු කිරීම සඳහා ණය පහසුකම් ලබාදීමේ මෙම ක්‍රමවේදය ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ සහ මුදල් අමාත්‍යංශයේ මූලිකත්වයෙන් ක්‍රියාවට නංවා ඇතැයි එම අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් උපාලි රත්නායක මහතා කීය.
 
මෙම  වසර සඳහා වූ අයවැය යෝජනාවලට සහ ත්‍රෛවාර්ෂික (2017-2020)  සංචාරක උපාය මාර්ගික සැලැස්මට අනුකූලව මෙම වැඩපිළිවෙළ ක්‍රියාවට නංවා ඇති අතර සංචාරක  සත්කාරක නිවාසවලට, සංචාරක බංගලාවලට සහ සංචාරකයන්ට කෙටිකාලීන පදනම මත කුලියට දෙන නිවහන් (Rented Apartments ) සඳහා මේ යටතේ ණය පහසුකම් සැලසෙන බවද රත්නායක මහතා කීය. 
 
මෙම ණය ඉල්ලුම් කිරීම සඳහා ඉල්ලුම්පත් ඕනෑම ලංකා බැංකු හෝ මහජන බැංකු ශාඛාවකින් ලබාගත හැකි අතර ණය ලබාගැනීම සඳහා අවශ්‍ය පහසුකම් සැලසීම මහා භාණ්ඩාගාරය සහ සංචාරක සංවර්ධන අධිකාරිය විසින් සිදුකරනු ලබයි. ඉල්ලුම්කරුවන්ට සිය ප්‍රදේශයේ පිහිටි රාජ්‍ය බැංකු හරහා ණය මුදල් ලබාගැනීම සිදු කළ හැකිය.  
 
රත්නායක මහතා ප්‍රකාශ කළේ වැඩිදියුණු කළ නිවහන් අලුතින් ලියාපදිංචි කිරීමේ දී සහනදායී ගාස්තු යටතේ එය සිදු කිරීමට ද කටයුතු යොදා ඇති බවයි.
 
මෙම ණය සඳහා පොළී අයකිරීමේදී ද සහනශීලී ප්‍රතිපත්තියක් අනුගමනය කෙරෙන බව කී රත්නයක මහතා ඒ යටතේ 14%ක් වන පොළී අනුපාතිකයෙන් 6%ක් දක්වා මහා භාණ්ඩාගාරය විසින් ගෙවීම් සිදු කරන බව හෙතෙම සඳහන් කළේය.
 
මෙම ණය ක්‍රමය පිළිබඳ වැඩිදුර තොරතුරු 2426800 දුරකත අංකයෙන් (දිගු අංක 250) හරහා ලගා ගත හැකිය. 

Rate this item
(0 votes)