May 09, 2024

ජාතික කුරුඳු සතිය ඇරඹෙයි

ජාතික කුරුඳු සතිය ඊයේ (07) සිට ලබන 11 දින දක්වා පැවැත්වීමට ප්‍රාථමික කර්මාන්ත අමාත්‍යංශය හා අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව කටයුතු සංවිධානය කර තිබෙන බව අපනයන කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය ඒ. පි. හීන්කෙන්ද මහතා පසයි.

“ශ්‍රී ලාංකේය කුරුඳු සුව දිවියට - ධන සවියට” යන්න තේමා කර ගනිමින් දිවයිනේ කුරුඳු වැඩි වශයෙන් වගා කරන ප්‍රදේශ වන ගාල්ල , මාතර , හම්බන්තොට, කළුතර හා රත්නපුර දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි මෙම කුරුඳු සතිය ක්‍රියාවට නැංවේ.

ජාතික කුරුඳු සතියට සමගාමිව පැවැත්වෙන  කෘෂිකාර්මික හා වෙළෙඳ ප්‍රදර්ශනය මාතර නුපේ පැරණි ඕලන්ද වෙළඳ පරිශ්‍රයේදී මැයි 10, 11 දෙදින තුළ පෙ.ව. 9.සිට ප.ව.5.00 දක්වා පැවැත්වීමට කටයුතු යොදා ඇත.

කුරුඳු නිෂ්පාදනවල ගුණාත්මය වැඩි දියුණු කිරිම, වැඩි ලාභ පරාසයක් සහිත යුරෝපීය වෙළදපොළ තුළ ප්‍රවේශ ඉඩකඩ පුළුල් කර ගැනීම හා කුරුදු පර්යේෂණ අංශ සතු නව තාක්ෂණික දැනුම හා කුරුඳු කර්මාන්තයේ නිරත පාර්ශවකරුවන් සතු ශිල්පීය දැනුම ප්‍රායෝගික භාවිතයට එක් කිරීම මෙහි ප්‍රධාන අරමුණු වන බව අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවසීය.

ජාතික කුරුඳු සතිය තුළදි කුරුඳු කර්මාන්තකරුවන්ගේ ගැටළු විසඳීම සඳහා ගොවි සායන පැවැත්විම, කුරුඳුවල අගය එකතු කළ නිෂ්පාදන ප්‍රවර්ධනය හා අපනයන වෙළදපොළ පිළිබඳව ප්‍රායෝගික මග පෙන්විම් ලබාදීම, මහජනතාව ගැවසෙන සතිපොළ, බස් නැවතුම්පොළ ආදි පොදු ස්ථානවලට ගොස් මහජනතාව දැනුවත් කිරීම, වගාකරුවන්ගේ ඉඩම්වලට ජංගම රථවලින් ගොස් අදාළ සේවා සැපයුම් ලබාදීම  ආදි කටයුතු රැසක් මෙහිදී සිදු කිරිමට සැලසුම් කර තිබේ.

ප්‍රාථමික කර්මාන්ත අමාත්‍ය දයා ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන මෙම කෘෂිකාර්මික හා වෙළෙඳ ප්‍රදර්ශනයේදී වැඩි අස්වනු හා ගුණාත්මක නිෂ්පාදන සඳහා නව තාක්ෂණය ලබාදීම, විදේශ වෙළඳපොළ සදහා ව්‍යාපාරික අවස්ථා සලසාදීම, ස්වයං රැකියා අවස්ථා සඳහා පුහුණුව, කුරුඳු වගාවේ උපරිම අස්වැන්නක් සදහා උපදෙස් ලබාදිම, කුරුඳු වගා භුමියේ පාංශු පරික්ෂාව, කුරුඳු වගාවේ රෝග පළිබෝධ පාලනය පිළිබඳ උපදෙස් ලබාදිම ආදිය  සිදු කෙරෙන බව ආචාර්ය හීන්කෙන්ද මහතා වැඩිදුරටත් පැවසීය.

Rate this item
(0 votes)